මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමින්, හිස්බුල්ලා සංවිධානයේ වත්මන් ප්‍රධානී නයිම් කසෙම් (Naim Qassem) තම මීළඟ ඉලක්කය බව ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍ය ඊශ්‍රායල් කැට්ස් (Israel Katz) අද (02) ප්‍රකාශ කළේය. පසුගිය සෙනසුරාදා ඊශ්‍රායල සහ අමෙරිකානු ප්‍රහාරයකින් ඉරාන උත්තරීතර නායක අලි කමේනි ඝාතනය වීමෙන් පසුව, ඉරානයට පක්ෂපාතී සියලු නායකයන් විනාශ කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.
ඉරාන නායක අලි කමේනි ඝාතනයට පළිගැනීමක් ලෙස ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය අද අලුයම උතුරු ඊශ්‍රායලයේ හයිෆා (Haifa) අසල පිහිටි ‘මිෂ්මාර් හකර්මල්’ (Mishmar HaCarmel) ගුවන් ආරක්ෂක මධ්‍යස්ථානයට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කළේය. මෙයට ප්‍රතිචාර ලෙස ඊශ්‍රායල ජෙට් යානා ලෙබනනයේ බීරූට් නුවර සහ දකුණු ලෙබනනයේ ගම්මාන 50කට අධික ප්‍රමාණයකට බෝම්බ ප්‍රහාර එල්ල කර ඇති අතර, ඉන් පුද්ගලයන් 31 දෙනෙකු මියගොස් 149 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉරාන රතු අඩසඳ සංවිධානය (Iranian Red Crescent) පවසන්නේ පසුගිය දින දෙක පුරා අමෙරිකාව සහ ඊශ්‍රායලය ඉරානයේ නගර 131ක් ඉලක්ක කර එල්ල කළ ඒකාබද්ධ ප්‍රහාරවලින් මේ වන විට ඉරාන වැසියන් 555 දෙනෙකු මියගොස් ඇති බවයි. මෙය මෑත ඉතිහාසයේ ඉරානයට එල්ල වූ දරුණුතම මනුෂ්‍ය ජීවිත හානිය ලෙස සැලකේ.
කලාපය පුරා අමෙරිකානු හමුදා කඳවුරුවලට ද ඉරාන හිතවාදී කණ්ඩායම් ප්‍රහාර එල්ල කරමින් සිටින අතර, කුවේට් හි පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය අසලින් ද ගිනි ගැනීම් වාර්තා වේ. ලෝක දේශපාලන විචාරකයන් පවසන්නේ මෙය මහා පරිමාණ කලාපීය යුද්ධයක (Full-scale Regional War) ආරම්භය විය හැකි බවයි.














