ඉරාන විප්ලවීය ආරක්ෂක බලකායේ (IRGC) වසර 30ක යුද සැලසුම් සහ මිසයිල බලඇණිය අඩපණ කරමින්, ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) සහ ඇමරිකානු මධ්‍යම විධානය (CENTCOM) ඉරාන ගුවන් සීමාව තුළ පූර්ණ ගුවන් ආධිපත්‍යය (Air Superiority) තහවුරු කරගෙන ඇති බව අද (02) වාර්තා වේ. පැය 30ක් වැනි කෙටි කාලයක් තුළ බෝම්බ 2,000කට අධික ප්‍රමාණයක් හෙළමින් දියත් කළ මෙම ප්‍රහාරය හේතුවෙන්, මිලියන 88ක ජනගහනයක් සහිත ඉරානය මේ වන විට යුදමය වශයෙන් “නිරාවරණය වූ” (Militarily Naked) තත්ත්වයකට පත්ව ඇත. රුසියාවෙන් ලබාගත් අතිනවීන S-300PMU-2 මිසයිල පද්ධති සහ ටෙහෙරාන් නුවර ආරක්ෂා කළ HQ-9B රේඩාර් වළල්ල පළමු ප්‍රහාරක රැල්ලෙන්ම විනාශ වී ඇති බව ආරක්ෂක විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත තහවුරු කරන්නේ 2025 ජුනි සහ 2026 පෙබරවාරි මෙහෙයුම් දෙකේදීම ඉරානය සතු වූ බැලස්ටික් මිසයිල දියත් කිරීමේ යන්ත්‍ර (Launchers) වලින් අඩකට වඩා දැන් විනාශ වී ඇති බවයි. ඉරානය සතුව තිබූ ‘ගදීර්-1’ (Ghadr-1) සහ ‘කෙයිබර් ෂෙකන්’ (Kheibar Shekan) වැනි දියුණු මිසයිල පද්ධතිවල පාලන මධ්‍යස්ථාන දැන් සුන්බුන් බවට පත්ව තිබේ. 1991 ගල්ෆ් යුද්ධයේදී ඉරාකයේ ‘ස්කඩ්’ (Scud) මිසයිල දියත් කිරීමේ යන්ත්‍ර විනාශ කිරීමට සභාග හමුදාවන්ට නොහැකි වුවද, මෙවර ඊශ්‍රායල F-35I යානා සහ කෘත්‍රිම බුද්ධිය (AI) සහිත තාක්ෂණය මගින් ඉරාන මිසයිල දියත් කිරීමටත් පෙර ඒවා විනාශ කිරීමට සමත් වී ඇත.
මෙම යුදමය ජයග්‍රහණයේ වඩාත්ම තීරණාත්මක ප්‍රතිඵලය වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන ආරක්ෂා කිරීමට තිබූ ගුවන් ආරක්ෂණ පවුර බිඳ වැටීමයි. ජාත්‍යන්තර පරමාණුක ශක්ති ඒජන්සිය (IAEA) විසින් මීට පෙර හඳුනාගත් 60%ක් දක්වා විකිරණශීලී සාන්ද්‍රණය වැඩි කරන ලද යුරේනියම් කිලෝග්‍රෑම් 408ක ප්‍රමාණය ආරක්ෂා කිරීමට දැන් ඉරානයට ගුවන් බලයක් නොමැත. ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යවරයා පවා පිළිගන්නේ එම න්‍යෂ්ටික ද්‍රව්‍ය පවතින සියලුම ස්ථාන තමන් නොදන්නා නමුත්, ඒවා ආරක්ෂා කරන මිසයිල පද්ධති දැන් පළාත් 24ක් පුරාම දැවී අළු වෙමින් පවතින බවයි.
ඉරාන පාලන තන්ත්‍රයේ පැවැත්ම සහතික කළ එකම සාධකය වූ “න්‍යෂ්ටික අවියක් නිපදවීමේ හැකියාව” (Nuclear Option) දැන් ඕනෑම මොහොතක ඊශ්‍රායල ප්‍රහාරයකට ලක්විය හැකි මට්ටමට නිරාවරණය වී තිබේ. ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට න්‍යෂ්ටික බලය කරා ළඟා වෙමින් සිටි රාජ්‍යයක්, සිය ආරක්ෂක පවුර තථ්‍ය කාලීනව (Real-time) අහිමි කරගන්නා ආකාරය මුළු ලෝකයම බලා සිටියි.















