මැදපෙරදිග කලාපය මහා පරිමාණ යුද්ධයක අද්දරට ඇද දමමින්, අද (අප්‍රේල් 04) අලුයම ඉරානයේ උපාය මාර්ගිකව වැදගත් මාෂහර් (Mahshahr) විශේෂ පෙට්‍රොකෙමිකල් කලාපය ඉලක්ක කර ඊශ්‍රායල සහ අමෙරිකානු ගුවන් හමුදා දැවැන්ත ප්‍රහාරයක් එල්ල කර තිබේ. ඉරානයේ ආර්ථිකයේ කොඳු නාරටිය බඳු වූ මෙම කලාපයේ පිහිටි දැවැන්ත කර්මාන්තශාලා 5කට අධික ප්‍රමාණයක් ප්‍රහාරයෙන් විනාශ වී ඇති අතර, ඉන් නැගෙන ගිනිජාලා සැතපුම් ගණනාවක් ඈතට දිස්වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙය ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ගත් තීරණයට සහ අමෙරිකානු තෙල් ටැංකි වෙත එල්ල කළ ප්‍රහාරවලට (Operation True Promise 4) එල්ල වූ සෘජු සහ දරුණුතම ප්‍රතිප්‍රහාරය ලෙස සැලකේ.
ආරක්ෂක විශ්ලේෂකයින් පෙන්වා දෙන්නේ, ඉරානයේ ඛුසෙස්තාන් (Khuzestan) පළාතේ පිහිටි මෙම පෙට්‍රොකෙමිකල් මධ්‍යස්ථාන ඉලක්ක කිරීම හරහා ඉරානයේ අපනයන ආදායම මුළුමනින්ම අඩාල කිරීමට බටහිර බලවතුන් උත්සාහ කරන බවයි. ප්‍රහාරයත් සමඟ කලාපයේ තෙල් සහ ගෑස් සැපයුම් පද්ධතිවලට දැඩි හානි සිදුව ඇති අතර, ඉරාන රජය පවසන්නේ මෙය “සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කර එල්ල කළ ම්ලේච්ඡ ප්‍රහාරයක්” බවයි. මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් මධ්‍යම ඊශ්‍රායලයේ බෙනී බ්‍රැක් (Bnei Brak) ඇතුළු නගර කිහිපයකට මිසයිල ප්‍රහාර එල්ල කර ඇති අතර, ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල තවදුරටත් ඉහළ යාම වැළැක්විය නොහැකි වනු ඇතැයි ආර්ථික විද්‍යාඥයෝ අනාවැකි පළ කරති.
තොරතුරු උපුටා ගැනීම: Mario Nawfal (X) ඇසුරින්














