ඊශ්‍රායලය සහ එක්සත් ජනපදය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ ප්‍රහාරක මෙහෙයුමට අදට (මාර්තු 04) දින පහක් ගත වන විට, ඉරාන සිවිල් වැසියන් 1,097 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව අමෙරිකාව පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරීන්ගේ පුවත් ඒජන්සිය (HRANA) වාර්තා කරයි. පසුගිය පෙබරවාරි 28 වනදා සිට අද දක්වා වූ කාලය තුළ මෙම මරණ වාර්තා වී තිබේ.
මෙම අතිශය ශෝචනීය තත්ත්වය පිළිබඳ දත්ත විමසා බැලීමේදී ජීවිතක්ෂයට පත්වූවන් අතර වයස අවුරුදු 10ට අඩු කුඩා දරුවන් 181 දෙනෙකු සිටින බව තහවුරු වී ඇත. එසේම ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් සංඛ්‍යාව 5,402 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 100ක්ම දරුවන් බව වාර්තා වේ. පසුගිය පැය 24 තුළ පමණක් ප්‍රහාර 104ක් එල්ල වී ඇති අතර හමුදා කඳවුරු පසෙකලා වෛද්‍ය මධ්‍යස්ථාන සහ ජනාකීර්ණ නේවාසික ප්‍රදේශ පවා මෙම ප්‍රහාරවලට ලක්ව ඇති බව හඳුනාගෙන තිබේ.
HRANA ඒජන්සිය වැඩිදුරටත් සඳහන් කරන්නේ තවත් වාර්තා වූ මරණ සිය ගණනක් පිළිබඳව මේ වන විට සමාලෝචනය කරමින් පවතින බැවින් මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවයි. මැදපෙරදිග කලාපයේ පවතින මෙම දරුණු යුදමය වාතාවරණය හමුවේ ජාත්‍යන්තර ප්‍රජාව දැඩි අවධානයෙන් පසුවෙයි.














