ඉරානයේ වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතාගෙන් පසුව එම ධූරයට පත්වන ඕනෑම අයෙකු මෙන්ම, ඔහුව පත්කිරීමට කටයුතු කරන පුද්ගලයින් ද ලුහුබැඳ යන බවට ඊශ්‍රායල හමුදාව දැඩි අනතුරු ඇඟවීමක් කර තිබේ. ඊශ්‍රායල ආරක්ෂක බලකාය (IDF) ෆාර්සි භාෂාවෙන් ‘X’ සමාජ මාධ්‍ය ජාලයේ තැබූ සටහනක දැක්වෙන්නේ, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා තෝරා පත් කර ගැනීමේ වගකීම පැවරී ඇති පූජක මණ්ඩලයේ (Assembly of Experts) සාමාජිකයින් ද තමන්ගේ ඉලක්ක බවට පත්වන බවයි.
මෙම ප්‍රකාශය නිකුත් වූයේ, ඉරානයේ මීළඟ උත්තරීතර නායකයා කවුරුන්ද යන්න පිළිබඳව පූජක මණ්ඩලය තුළ යම් එකඟතාවයකට පැමිණ ඇති බවට ඉරාන මාධ්‍ය වාර්තා කිරීමෙන් අනතුරුවය. ඊශ්‍රායලය විසින් මෙම අනතුරු ඇඟවීම සිදුකර ඇත්තේ, මධ්‍යම පෙරදිග කලාපයේ පවතින දැඩි යුදමය වාතාවරණය තවදුරටත් උත්සන්න කරමිනි. ඉරානයේ ඉහළම දේශපාලනික සහ ආගමික නායකයා ඉලක්ක කරන බවට ඊශ්‍රායලය කළ මෙම ප්‍රකාශය ජාත්‍යන්තර දේශපාලනය තුළ ද දැඩි කතාබහට ලක්ව තිබේ.
වත්මන් උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි මහතා වයස්ගතව පසුවන බැවින් ඔහුගේ අනුප්‍රාප්තිකයා කවුරුන්ද යන්න පිළිබඳව ඉරානය තුළ මෙන්ම ජාත්‍යන්තරව ද දැඩි අවධානයක් යොමුව පවතී. එවැනි පසුබිමක ඊශ්‍රායලය කළ මෙම ප්‍රකාශය ඉරානයේ අභ්‍යන්තර ස්ථාවරත්වයට මෙන්ම කලාපීය ආරක්ෂාවට ද සෘජු තර්ජනයක් එල්ල කර ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.














