ඊශ්‍රායලය සහ ඇමරිකාව විසින් ඉරානයට එරෙහිව දියත් කර ඇති යුදමය ක්‍රියාමාර්ග කෙරෙහි ලෝක අවධානය යොමු වී පවතින අතරතුර, අල්ලා ගත් බටහිර ඉවුරේ (West Bank) පලස්තීන වැසියන්ට එල්ල වන ප්‍රහාර දරුණු ලෙස ඉහළ ගොස් තිබේ. පසුගිය සෙනසුරාදා රාත්‍රියේ රාමල්ලා නගරයට ආසන්න අබු ෆලා ගම්මානයට ඊශ්‍රායල පදිංචිකරුවන් සහ සෙබළුන් එල්ල කළ ප්‍රහාරයකින් පලස්තීනුවන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර මෙය සතියක් තුළ වාර්තා වූ තෙවන මාරාන්තික ප්‍රහාරයයි. පෙබරවාරි අග භාගයේ ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට මේ දක්වා බටහිර ඉවුරේ සිවිල් වැසියන් පස් දෙනෙකු ඊශ්‍රායල පදිංචිකරුවන්ගේ වෙඩි ප්‍රහාරවලින් මියගොස් ඇති බව වාර්තා වන අතර සෙනසුරාදා මියගිය තෙවන පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ඊශ්‍රායල හමුදාව එල්ල කළ ප්‍රබල කඳුළු ගෑස් ආශ්වාස කිරීම හේතුවෙනි.
ඊශ්‍රායල මානව හිමිකම් කණ්ඩායමක් වන B’tselem පවසන්නේ යුද්ධය ආවරණයක් කර ගනිමින් බටහිර ඉවුරේ ජනවාර්ගික ශුද්ධ කිරීමේ ක්‍රියාවලියක් (Ethnic cleansing) සිදුවන බවයි. පදිංචිකරුවන් විසින් පලස්තීනුවන්ගේ ඔලීව් වගාවන් විනාශ කිරීම, සතුන් සොරකම් කිරීම සහ ජල ටැංකි හා සූර්ය පැනලවලට හානි කිරීම වැනි විනාශකාරී ක්‍රියා සිදු කරන අතර පසුගිය සඳුදා කර්යුට් ගම්මානයේදී සිදුවූ වෙඩි තැබීමකින් පසු තුවාල ලැබූවන් වෙත ගිලන් රථ පැමිණීම පැයකට අධික කාලයක් හමුදාව විසින් අවහිර කර ඇති බව ද වාර්තා වේ. යුද්ධයේ මුවාවෙන් ඊශ්‍රායල හමුදාව සහ පදිංචිකරුවන්ගේ සන්නද්ධ කල්ලි එක්ව බටහිර ඉවුරේ පලස්තීනුවන් සතු ඉඩම්, වගාවන් සහ නිවාස විනාශ කරමින් ඔවුන්ව එම ප්‍රදේශවලින් ඉවත් කිරීමට උත්සාහ කරන බවට මානව හිමිකම් සංවිධාන චෝදනා කරති.
බටහිර ඉවුරේ ඊශ්‍රායල හමුදා අණදෙන නිලධාරී මේජර් ජෙනරාල් අවි බ්ලුත් මෙම සිදුවීම් පිළිගත නොහැකි බව ප්‍රකාශ කර ඇති අතර වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව පවසා ඇත. එහෙත් යුද ඇඳුම් ඇඳගත් ඊශ්‍රායල පදිංචිකරුවන් පවා මෙම ප්‍රහාරවලට සම්බන්ධ වීම නිසා පලස්තීන වැසියන් දැඩි අනාරක්ෂිත තත්ත්වයකට පත්ව සිටිති. ලෝක ප්‍රජාව ඉරාන යුද්ධය පිළිබඳව අවධානයෙන් සිටින මොහොතක බටහිර ඉවුරේ සිදුවන මෙම මානව හිමිකම් උල්ලංඝනය කිරීම් පිළිබඳව අවධානය යොමු කරන ලෙස විචාරකයෝ ඉල්ලා සිටිති.














