ඉතාලි අග්‍රාමාත්‍ය ජෝර්ජියා මෙලෝනි (Giorgia Meloni) විසින් ඉදිරිපත් කරන ලද අධිකරණ ක්ෂේත්‍රයේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා එරට ජනතාව විසින් ජනමත විචාරණයකදී ප්‍රතික්ෂේප කර තිබේ. පසුගිය ඉරිදා සහ සඳුදා යන දෙදින තුළ පැවැත්වූ මෙම ඓතිහාසික ජනමත විචාරණයේ ප්‍රතිඵල අනුව, ප්‍රතිසංස්කරණවලට විරුද්ධව සියයට 53.5ක ඡන්ද ප්‍රතිශතයක් හිමිව ඇති අතර, පක්ෂව හිමිව ඇත්තේ සියයට 46.5ක ප්‍රතිශතයකි. මෙය 2022 වසරේ බලයට පත්වීමෙන් පසු අග්‍රාමාත්‍යවරිය මුහුණ දුන් පළමු දරුණුතම දේශපාලන පසුබෑම ලෙස සැලකේ.
විනිසුරුවරුන්ගේ සහ රජයේ නීතිඥවරුන්ගේ භූමිකාවන් සහ අධීක්ෂණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර තිබූ මෙම යෝජනා පරාජයට පත් වුවද, තම රජය ඉදිරියටත් ස්ථාවරව පවතින බව අග්‍රාමාත්‍ය මෙලෝනි අවධාරණය කර ඇත. “ඉතාලි ජනතාව සිය තීරණය ලබා දී තිබෙනවා. අපි එම තීරණයට ගරු කරනවා,” යනුවෙන් ඇය සිය නිල ‘X’ ගිණුමේ සටහන් කර තිබේ. ජනමත විචාරණයේ ප්‍රතිඵලය කුමක් වුවත් ජාතියේ යහපත වෙනුවෙන් තමන්ට ලැබුණු ජනවරම අඛණ්ඩව ඉටු කරන බව ද ඇය වැඩිදුරටත් සඳහන් කර සිටී.
කෙසේ වෙතත්, දේශපාලන විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ මෙම පරාජය ලබන වසරේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු මැතිවරණයේදී විපක්ෂයට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කරනු ඇති බවයි. අග්‍රාමාත්‍යවරියගේ දක්ෂිණාංශික සභාග රජය වසර 30ක පමණ කාලයක සිට අපේක්ෂා කළ ප්‍රධානතම ප්‍රතිපත්තියක් මෙලෙස ජනතාව විසින් ප්‍රතික්ෂේප කිරීම කැපී පෙනෙන සිදුවීමකි. එසේ වුවද, වත්මන් මත විමසුම්වලට අනුව තවමත් මෙලෝනිගේ පක්ෂයට සියයට 28-29ක ජනතා සහයක් පවතින බැවින් රජය බිඳ වැටීමේ අවදානමක් නොමැති බව විද්වතුන් පවසති.














