යාපනය නාගර්කෝවිල් වෙරළ ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස රාත්‍රී කාලයේ කිමිදී මුහුදු කැකිරි අස්වනු නෙළමින් සිටි පුද්ගලයන් හය දෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබේ. උතුරු නාවික විධානයට අයත් වෙත්තලකේණි නාවික කඳවුරේ නිලධාරීන් විසින් වෙරළ දෙසට පැමිණි සැකකටයුතු ඩිංගි යාත්‍රා දෙකක් පරීක්ෂා කිරීමේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
මෙම මෙහෙයුමේදී නීතිවිරෝධී ලෙස අල්ලා තිබූ මුහුදු කැකිරි 939ක් නාවික හමුදාව විසින් සොයාගෙන තිබේ. මුහුදු කැකිරි තොගය සමඟ සැකකරුවන් භාවිතා කළ ඩිංගි යාත්‍රා දෙකක් සහ කිමිදුම් උපකරණ කට්ටලයක් ද නාවික හමුදා භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23ත් 37ත් අතර වයස්වල පසුවන මන්නාරම සහ වෙල්වටිතුරෙයි යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන්, මුහුදු කැකිරි තොගය සහ අනෙකුත් භාණ්ඩ ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර පරීක්ෂක කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන ඇත. ශ්‍රී ලංකාවේ මුහුදු සම්පත් ආරක්ෂා කරගැනීම වෙනුවෙන් නාවික හමුදාව මෙවැනි නීතිවිරෝධී කටයුතු වැළැක්වීමේ මෙහෙයුම් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.














