යාපනය – පේදුරුතුඩුව මාර්ගයේ නෙල්ලිඅඩි පොලිස් වසමට අයත් 20 කණුව ප්‍රදේශයේදී ඊයේ (22) සවස් කාලයේ සිදු වූ රිය අනතුරකින් 70 හැවිරිදි කාන්තාවක ජීවිතක්ෂයට පත්ව තිබේ. යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පදික කාන්තාව ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදික කාන්තාව, යතුරුපැදිකරු සහ එහි පසුපස ගමන් කළ පුද්ගලයා වහාම අච්චුවේලි රෝහලට ඇතුළත් කර ඇති අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා යාපනය ශික්ෂණ රෝහලට මාරු කර යැවීමෙන් අනතුරුව ඇය මියගොස් ඇත. මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පුලියන්කුඩල් ප්‍රදේශයේ පදිංචිව සිටි තැනැත්තියකි. සිද්ධිය සම්බන්ධයෙන් නෙල්ලිඅඩි පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.














