යාපනයේ සිවලෝගනාදන් විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ නඩුවේ වරදකරුවෙකු වී මරණ දඬුවම නියම වී සිටින පුද්ගලයෙකු, මහනුවර පල්ලෙකැලේ බන්ධනාගාර රෝහලේ සේවයේ නියුතු වෛද්‍යවරියකට ලිංගික අතවර කිරීමට උත්සාහ කර ඇති බව වාර්තා වේ. අද (06) උදෑසන මෙම පුවත වාර්තා වූ අතර පල්ලෙකැලේ පොලිසිය මේ පිළිබඳව විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ජේ. කොකිලන් කන්නා නමැති මෙම රැඳවියා, රාජකාරියේ නිරතව සිටි වෛද්‍යවරිය බලහත්කාරයෙන් වැළඳගෙන දූෂණය කිරීමට උත්සාහ කර ඇත. එහිදී වෛද්‍යවරිය නැඟූ කෑගැසීම හමුවේ වහා ක්‍රියාත්මක වූ බන්ධනාගාර නිලධාරීන් ඇයව බේරා ගැනීමට සමත්ව තිබේ.
2015 වසරේ පුන්කුඩුතිව් ප්‍රදේශයේදී 18 හැවිරිදි විද්‍යා දැරිය පැහැරගෙන ගොස් සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් 2017 වසරේදී යාපනය මහාධිකරණය මගින් මොහු ඇතුළු පුද්ගලයන් හත් දෙනෙකුට මරණ දඬුවම නියම කරන ලදී. මුළු රටම කැලඹූ එම සාහසික අපරාධයේ වරදකරුවෙකු බන්ධනාගාරය තුළදීම මෙවැනි ක්‍රියාවකට පෙළඹීම දැඩි කතාබහට ලක්ව ඇත.













