තම රාජකාරි ඉටු කිරීමට නොහැකි බවට තීරණය කරනු ලබන ඕනෑම අමෙරිකානු ජනාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය පහසු කිරීම සඳහා ස්වාධීන කොමිසමක් පිහිටුවීමට අදාළ පනත් කෙටුම්පතක් හඳුන්වා දෙන බව අමෙරිකානු කොංග්‍රස් මණ්ඩල මන්ත්‍රී ජේමි රැස්කින් ප්‍රකාශ කර තිබේ. මේ වන විට සිය දෙවන ධුර කාලය ගෙවන ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පාර්ශවය තුළ පවතින දැඩි විවේචන මධ්‍යයේ මෙම පියවර ගෙන ඇති බව වාර්තා වේ.
විශේෂයෙන්ම ඉරානයට එරෙහිව හමුදා ප්‍රහාර දියත් කිරීමට ට්‍රම්ප් ගත් තීරණය සහ “මුළු ශිෂ්ටාචාරයක්ම මිය යනු ඇති” බවට ඔහු මෑතකදී කළ ප්‍රකාශය හේතුවෙන් ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් තුළ දැඩි නොසන්සුන්තාවක් හටගෙන තිබේ. අමෙරිකානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 25 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයෙකු ධුරයෙන් ඉවත් කිරීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම මෙම පනතේ අරමුණයි. යෝජිත කොමිසම සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සමන්විත වන අතර ජනාධිපතිවරයාගේ කායික හෝ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව තීරණ ගැනීමට එයට බලය පැවරේ.
කෙසේ වෙතත්, වත්මන් අමෙරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බහුතර බලය රිපබ්ලිකන් පාර්ශවය සතු වීමත්, කථානායක මයික් ජොන්සන් ට්‍රම්ප්ගේ දැඩි හිතවාදියෙකු වීමත් නිසා මෙම පනත් කෙටුම්පත සම්මත වීමේ සම්භාවිතාව ඉතා අඩු බව දේශපාලන විචාරකයෝ පවසති. මීට පෙරද ට්‍රම්ප්ට එරෙහිව දෝෂාභියෝග දෙකක් ගෙන ආවද රිපබ්ලිකන් පාලනය යටතේ පැවති සෙනෙට් මණ්ඩලය මගින් ඔහු නිදොස් කොට නිදහස් කරනු ලැබීය.














