ඉන්දීය දේශීය ක්‍රිකට් ඉතිහාසයේ අතිශය හැඟීම්බර සහ සුවිශේෂී ජයග්‍රහණයක් සනිටුහන් කරමින්, ප්‍රබල කර්ණාටක කණ්ඩායම පරාජය කර සිය ප්‍රථම රංජි කුසලානය දිනා ගැනීමට ජම්මු-කාශ්මීර කණ්ඩායම සමත් විය. කේ.එල්. රාහුල්, මායන්ක් අගර්වාල් වැනි ජාත්‍යන්තර අත්දැකීම් සහිත ප්‍රබල ක්‍රීඩකයින්ගෙන් සමන්විත අටවතාවක් ශූරතාව දිනූ කර්ණාටක පිල හමුවේ ජම්මු-කාශ්මීර ක්‍රීඩකයින් දැක්වූ දක්ෂතාවය මුළු ඉන්දියාවේම අවධානයට ලක්ව තිබේ. දශක ගණනාවක් පුරා පවතින දේශපාලන අර්බුද, සන්නද්ධ ගැටුම් සහ 2019 වසරේ සිදු වූ දේශපාලනික වෙනස්කම් හමුවේ පවා ක්‍රිකට් ක්‍රීඩාව අත්නොහළ මෙම ක්‍රීඩකයින්, සිය සටන්කාමී ක්‍රීඩා විලාසය හරහා මෙම ඓතිහාසික ජයග්‍රහණය අත්කර ගත්තේය.
මෙම තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේදී මධ්‍ය ප්‍රදේශ් කණ්ඩායම සහ අවසන් පූර්ව වටයේදී බෙංගාල කණ්ඩායම පරාජය කරමින් අවසන් මහා තරගයට පිවිසි ජම්මු-කාශ්මීරය, ඉන්දීය ක්‍රිකට් පිටියේ “අසරණ කණ්ඩායමක්” ලෙස සැලකූ මතය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමට සමත් විය. කාශ්මීරයේ සුප්‍රකට විලෝ (Willow) ලීයෙන් තැනූ පිතිවලින් මුළු ලොවම ක්‍රිකට් ක්‍රීඩා කළද, එරට ක්‍රීඩකයින්ට ජාතික මට්ටමේ ජයග්‍රහණයක් කරා යාමට මෙතෙක් නොහැකි වී තිබුණි. මෙම ජයග්‍රහණයත් සමඟ ජම්මු-කාශ්මීරයේ තරුණ පරපුරට ක්‍රීඩාව හරහා නව බලාපොරොත්තුවක් උදාවී ඇති අතර, එය එරට ක්‍රීඩා ඉතිහාසයේ රන් අකුරින් ලියවෙනු නොඅනුමානය.














