ඉන්දියාවේ මුම්බායිහිදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන ආ ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ජනිත් මධුසංඛ හෙවත් ‘පොඩි ලැසී’ සම්බන්ධයෙන් අංශ තුනක් ඔස්සේ පුළුල් විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පවසයි. ඊයේ (27) අලුයම මෙරටට රැගෙන ආ සැකකරු බද්දේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැඳවුම් නියෝග මත ප්‍රශ්න කිරීම සඳහා ගාල්ල දිසා අපරාධ කොට්ඨාසය වෙත භාර දී තිබේ.
මෙම විමර්ශන මූලික වශයෙන් රත්ගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති මනෝජ් මෙන්ඩිස් ඝාතනය ඇතුළු දකුණු පළාතේ සිදුවූ දරුණු ගණයේ මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ මෙහෙයවීම කෙරෙහි යොමුවී ඇත. විශේෂයෙන්ම තම පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙස මනෝජ් මෙන්ඩිස් ඝාතනය සිදුකර ඇති බවට මීට පෙර අනාවරණය වී තිබුණි.
මීට අමතරව, අධිකරණය විසින් විදේශගත වීම තහනම් කරමින් ඇප කොන්දේසි පනවා තිබියදී ඔහු හොර රහසේ ඉන්දියාවට පලාගිය ආකාරය සහ එහි රැඳී සිටිමින් මෙරට අපරාධ ජාලය මෙහෙයවූ ආකාරය පිළිබඳව ද දැඩි ලෙස විමර්ශනය කෙරේ. දකුණේ පාතාලයේ වැඩිම අපරාධ සංඛ්‍යාවක් සිදුකළ කණ්ඩායම මොහු විසින් මෙහෙයවා ඇති බව පොලිස් වාර්තා පෙන්වා දෙයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් විසින් ඉන්දීය බලධාරීන්ගේ සහය ඇතිව සිදුකළ මෙම මෙහෙයුම මෙරට අපරාධ මර්දන ඉතිහාසයේ වැදගත් ජයග්‍රහණයකි.














