මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ඉහළ යාම ජපානයේ උද්ධමනය කෙරෙහි සෘජුවම බලපානු ඇති බව ජපන් මහ බැංකුව (Bank of Japan) අද (19) ප්‍රකාශ කළේය. ලොව සිව්වන විශාලතම ආර්ථිකය හිමි ජපානය, තමන්ට අවශ්‍ය බොරතෙල් ආනයනයෙන් 95%ක්ම මැදපෙරදිග කලාපයෙන් ලබාගන්නා බැවින්, පවතින යුදමය වාතාවරණය එරට ආර්ථිකයට දැඩි තර්ජනයක් වී තිබේ.අද පැවැති ප්‍රතිපත්තිමය තීරණ දැනුම් දීමේදී ජපන් මහ බැංකුව සිය මූලික පොලී අනුපාතය 0.75% ලෙස නොවෙනස්ව පවත්වා ගැනීමට තීරණය කර ඇත.
කෙසේ වෙතත්, ඉහළ යන ඉන්ධන පිරිවැය හමුවේ ජනතාවට සහන සැලසීම සඳහා ජපන් රජය විසින් හදිසි සහනාධාර වැඩපිළිවෙළක් (Emergency Subsidy Programme) ද ආරම්භ කර තිබේ. මෙමඟින් දේශීය වෙළඳපොළේ ගැසොලින් මිල පාලනය කිරීමට අපේක්ෂා කෙරේ.මැදපෙරදිග අර්බුදය හමුවේ බලශක්ති සුරක්ෂිතතාව තහවුරු කරගැනීම සඳහා ජපානය සිය උපායමාර්ගික තෙල් සංචිත භාවිත කිරීමේ හැකියාව පිළිබඳව ද අවධානය යොමු කර ඇත. මෙම තත්ත්වය හමුවේ ඉදිරි මාස කිහිපය තුළ ජපානයේ නිෂ්පාදන පිරිවැය සහ පාරිභෝගික භාණ්ඩ මිල ඉහළ යා හැකි බව ආර්ථික විද්‍යාඥයෝ අනතුරු අඟවති.














