ජපානයේ හකුබා (Hakuba) නිම්නයේ පිහිටි සංචාරක නිකේතනයකදී පසුගිය සෙනසුරාදා සිදුවූ හිම රථ (Snowmobile) අනතුරකින් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ත ප්‍රාන්තයේ පදිංචි 8 හැවිරිදි ක්ලෝයි ජෙෆ්රිස් (Chloe Jeffries) නමැති දැරිය ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙම වසරේදී ජපානයේ හිම ක්‍රීඩා නිකේතන තුළදී මියගිය සිව්වැනි ඕස්ට්‍රේලියානු ජාතිකයා ඇයයි.
අනතුර සිදු වූ අයුරු පිළිබඳව වාර්තා වන්නේ ඇය තම මව සමඟ හිම රථයක ගමන් කරමින් සිටියදී වනාන්තරයක් මැදින් වැටී ඇති මාර්ගයක වංගුවක් ගැනීමේදී රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරළී ගොස් ඇති බවයි. එහිදී දැරිය රථයට යටවී බරපතළ තුවාල ලබා ඇති අතර, ගුවන් මඟින් රෝහල් ගත කළද ඇය මියගොස් ඇති බව තහවුරු විය.
මෙම සංචාරය සංවිධානය කළ ‘Hakuba Lion Adventure’ ආයතනය පවසන්නේ මාර්ගයේ තිබූ බැම්මක වැදී රථය පෙරළී ඇති බවයි. මෙම ඛේදනීය සිදුවීමත් සමඟ එම සමාගම සියලුම හිම රථ සංචාර තාවකාලිකව නතර කර ඇති අතර, ආරක්ෂක විධිවිධාන පිළිබඳව නැවත සමාලෝචනයක් ආරම්භ කර තිබේ.
ජපානයේ හිම ක්‍රීඩා අවදානම සම්බන්ධයෙන් බලන කල, මෙම වසරේ (2026) මුල් මාස කිහිපය තුළ පමණක් ඕස්ට්‍රේලියානුවන් සිව්දෙනෙකු ජපානයේදී මෙලෙස මියගොස් ඇත. ඒ අතර හොකයිඩෝහිදී අතරමං වී මියගිය 27 හැවිරිදි මයිකල් හර්ස්ට්, හිම මත ලිස්සා යන රෝද පුටුවක බෑගය පැටලීමෙන් මියගිය 22 හැවිරිදි බෲක් ඩේ සහ හිම මත ලිස්සා යාමේදී සිදුවූ ගැටීමකින් මියගිය රයිලන් හෙන්රි යන අය වෙති.














