දෙවන ලෝක යුධ සමයේදී ජපාන හමුදාවන් විසින් ලිංගික වහල්භාවයට පත් කරන ලද දහස් සංඛ්‍යාත කාන්තාවන් සිහිපත් කරමින් නවසීලන්තයේ ඕක්ලන්ඩ් (Auckland) නුවර ඉදි කිරීමට යෝජිත ලෝකඩ පිළිරුවක් හේතුවෙන් ජපානය සහ නවසීලන්තය අතර දැඩි රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් හටගෙන තිබේ. මෙම පිළිරුව ඕක්ලන්ඩ්හි කොරියානු සංස්කෘතික උද්‍යානයක ස්ථාපිත කිරීමට යෝජිත අතර, එයට අවසර දීම සම්බන්ධයෙන් වන තීරණාත්මක රැස්වීම අප්‍රේල් 28 වැනිදා පැවැත්වීමට නියමිතය.
ඉතිහාසඥයින් පෙන්වා දෙන පරිදි 1932 සහ 1945 අතර කාලය තුළ කොරියාව, චීනය සහ ගිනිකොනදිග ආසියාවේ කාන්තාවන් ලක්ෂ දෙකකට අධික පිරිසක් ජපාන හමුදා ගණිකා මඩම්වල සේවය සඳහා බලහත්කාරයෙන් යොදවා තිබේ. ‘සැනසිලි කාන්තාවන්’ ලෙස හැඳින්වූ මෙම පිරිස දිනකට පිරිමින් 10 සිට 30 දක්වා සංඛ්‍යාවක් සමඟ ලිංගිකව හැසිරීමට බල කර ඇති අතර, ඔවුන් අමානුෂික වධහිංසාවලට ලක්ව ඇති බව වාර්තා වේ.
නවසීලන්තයේ ජපාන තානාපති මාකොටෝ ඔසාවා (Makoto Osawa) මහතා පවසා සිටියේ මෙම ප්‍රශ්නය අනවශ්‍ය ලෙස ඉස්මතු කිරීම ජපාන-නවසීලන්ත සබඳතාවලට විශාල බාධාවක් විය හැකි බවයි. මෙම පිළිරුව මගින් කොරියානු සහ ජපාන ප්‍රජාවන් අතර ගැටුම් සහ බෙදීම් ඇති විය හැකි බවත්, ඇතැම් විට ජපාන නගර නවසීලන්ත නගර සමඟ පවතින සබඳතා පවා අත්හැර දැමීමට ඉඩ ඇති බවත් තානාපති කාර්යාලය අනතුරු අඟවා තිබේ.
ජපානය පවසන්නේ 2015 වසරේදී ඇති කරගත් ගිවිසුමක් මගින් මෙම ප්‍රශ්නය ස්ථිර ලෙස විසඳා ඇති බවයි. කෙසේ වෙතත්, මෙම පිළිරුව ස්ථාපිත කිරීමට උත්සාහ කරන කමිටුව පවසන්නේ මෙය කිසිදු රටකට එරෙහි වීමක් නොව, අතීතයේ ලිංගික ප්‍රචණ්ඩත්වයට ගොදුරු වූ කාන්තාවන්ගේ මානුෂීය අයිතිය සහ ඔවුන් මුහුණ දුන් ඛේදවාචකය සිහිපත් කිරීමක් පමණක් බවයි. මෙම පිළිරුව සම්බන්ධයෙන් ඕක්ලන්ඩ් කවුන්සිලය වෙත ලැබී ඇති මහජන අදහස්වලින් 51%ක්ම එහි ස්ථාපිත කිරීමට විරුද්ධත්වය ප්‍රකාශ කර ඇති බව ද වාර්තා වේ.
















