හෝමූස් සමුද්‍ර සන්ධියේ තෙල් නැව් ආරක්ෂා කිරීම සඳහා ජපාන සමුද්‍ර ස්වයං-ආරක්ෂක බලකායන් (Maritime Self-Defence Forces) යැවීමට මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව ජපාන අගමැතිනි සානේ ටකායිචි (Sanae Takaichi) අවධාරණය කරයි. අද (2026 මාර්තු 16) පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අමතමින් ඇය කියා සිටියේ, ආරක්ෂක නෞකා යෙදවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු එකඟතාවයකට පැමිණ නොමැති බවත්, පවතින නීතිමය රාමුව තුළ ජපානයට ස්වාධීනව කළ හැකි කාර්යයන් පිළිබඳව තවදුරටත් අධ්‍යයනය කරමින් සිටින බවත්ය.
ජපාන නීතියට අනුව, සිය රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල වන්නේ නම් මිත්‍ර රටකට සහාය වීම සඳහා විදේශයන්හි හමුදා යෙදවීමට අවසර පවතින නමුත්, ඉරානයට එරෙහි යුද්ධයකට සෘජුව මැදිහත් වීම දේශපාලනිකව මෙන්ම නීතිමය වශයෙන් ද සාධාරණීකරණය කිරීම ටෝකියෝ පාලනයට අතිශය දුෂ්කර කාර්යයකි. එමෙන්ම එවැනි හමුදා මැදිහත්වීමක් ජපාන ඡන්දදායකයන් අතර ද දැඩි අප්‍රසාදයට හේතු වනු ඇතැයි දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
මෙම සතියේ වොෂින්ටනයේදී අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවීමට නියමිත අගමැතිනිය, එහිදී ඉරාන ගැටුම සම්බන්ධයෙන් ජපානයේ ස්ථාවරය පැහැදිලි කිරීමට බලාපොරොත්තු වේ. ගැටුම් සමනය කිරීම (De-escalation) සඳහා ජපානය දරන මතය සහ මැදපෙරදිග සාමය යළි ස්ථාපනය කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව එහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන බව ඇය වැඩිදුරටත් සඳහන් කළාය.















