ශ්‍රී ලංකාවේ පවතින උපාය මාර්ගික භූගෝලීය වැදගත්කම උපරිම ලෙස භාවිත කරමින් ජපානය, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යා කෙරෙන සුවිශේෂී “ත්‍රෛපාර්ශ්වික කොරිඩෝ” සංකල්පයක් ජපාන රජය විසින් ඉදිරිපත් කර තිබේ. මෙම නව යෝජනාවට අනුව ලොව විශාලතම වෙළඳපොළක් වන ඉන්දියාව සහ සමස්ත දකුණු ආසියානු කලාපය ඉලක්ක කර ගනිමින් සිදු කරන ජපාන නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ පිහිටුවන කර්මාන්තශාලාවල නිපදවීමට සැලසුම් කර ඇත. මෙම නිෂ්පාදන ශ්‍රී ලංකාව මධ්‍යස්ථානයක් ලෙස භාවිත කරමින් කලාපීය රටවල් වෙත බෙදා හැරීම මෙහි ප්‍රධාන අරමුණයි.
ශ්‍රී ලංකාව සහ ජපානය අතර මේ සම්බන්ධයෙන් වන නිල අවබෝධතා ගිවිසුමකට නුදුරු දිනකදීම එළැඹීමට නියමිත බව වාර්තා වේ. මෙමගින් ශ්‍රී ලංකාවට සෘජු විදේශ ආයෝජන මෙන්ම නව රැකියා අවස්ථා රාශියක් උදාවන අතර, කලාපීය වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස මෙරට භූමිකාව ශක්තිමත් වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජපාන තාක්ෂණය සහ ශ්‍රී ලංකාවේ පිහිටීම ඒකාබද්ධ කරමින් ඉන්දීය වෙළඳපොළ ආක්‍රමණය කිරීම මෙම වැඩපිළිවෙළෙහි සුවිශේෂීත්වයයි.














