ජපාන විදේශ අමාත්‍ය තොෂිමිට්සු මොටෙගි මහතා ප්‍රකාශ කර ඇත්තේ, අමෙරිකා-ඊශ්‍රායල සහ ඉරානය අතර පවතින යුද්ධය සඳහා සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන්නේ නම්, හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) ඇති මුහුදු බිම් බෝම්බ ඉවත් කිරීමේ කටයුතු (Minesweeping) සඳහා ජපාන ස්වයං ආරක්ෂක බලකාය (SDF) යෙදවීම පිළිබඳව සලකා බැලිය හැකි බවයි. අද (22) ‘Fuji TV’ වැඩසටහනකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. මෙය උපකල්පිත තත්ත්වයක් වුවද, සටන් විරාමයකින් පසුව නාවික බිම් බෝම්බ නෞකා ගමනාගමනයට බාධාවක් වන්නේ නම් ඒ පිළිබඳව අවධානය යොමු කිරීම වැදගත් බව ඔහු පෙන්වා දුන්නේය.
දැනට සිව්වන සතියටත් ක්‍රියාත්මක වන මෙම යුද්ධය හේතුවෙන් ඉරානය විසින් හෝමුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම නිසා ලෝක බොරතෙල් සැපයුමෙන් පහෙන් එකකට (1/5) බාධා එල්ල වී තිබේ. ජපානය සිය බොරතෙල් අවශ්‍යතාවයෙන් 90%ක්ම සපුරා ගන්නේ මෙම මුහුදු මාර්ගය හරහා බැවින්, තෙල් මිල ඉහළ යාම පාලනය කිරීමට ජපානයට සිය සංචිත (Reserves) භාවිත කිරීමට ද සිදුව ඇත. ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හමුවූ අවස්ථාවේදී ද මෙම ගැටලුව සාකච්ඡා වී ඇති අතර, ජපාන ව්‍යවස්ථාවට අනුකූලව ලබාදිය හැකි සහාය පිළිබඳව ඇය එහිදී කරුණු පැහැදිලි කර තිබේ.














