මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හමුවේ ගෝලීය බලශක්ති සැපයුම පිළිබඳව මතුව ඇති අවදානම සැලකිල්ලට ගනිමින්, ජපානය සහ අමෙරිකා එක්සත් ජනපදය එක්ව දැවැන්ත න්‍යෂ්ටික බලශක්ති ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට සැළසුම් කර තිබේ. රොයිටර් පුවත් සේවය වාර්තා කරන පරිදි, මෙය ජපානය විසින් අමෙරිකාව තුළ සිදු කිරීමට නියමිත ඩොලර් බිලියන 550ක දැවැන්ත ආයෝජන පැකේජයේ දෙවන අදියර යටතේ ක්‍රියාත්මක වනු ඇත. මෙම ව්‍යාපෘතිය හරහා දෙරටේ බලශක්ති සැපයුම් දාමයන් ශක්තිමත් කිරීම සහ අනාගත බලශක්ති අවශ්‍යතා සපුරා ගැනීම අපේක්ෂාවයි.
මෙම සුවිශේෂී ගනුදෙනුව පිළිබඳ නිල ප්‍රකාශය ලබන මාර්තු 19 වන දින ජපාන අග්‍රාමාත්‍ය සානේ ටකායිචි (Sanae Takaichi) මහත්මිය සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා අතර වොෂින්ටන් නුවරදී පැවැත්වෙන හමුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය සඳහා ප්‍රකට ‘වෙස්ටින්හවුස්’ (Westinghouse) සමාගම සම්බන්ධ වන අතර, ඔවුන් විසින් පීඩන ජල ප්‍රතික්‍රියාකාරක (Pressurised Water Reactors) සහ කුඩා මොඩියුලර් ප්‍රතික්‍රියාකාරක (Small Modular Reactors) ඉදිකිරීමට සැලසුම් කර ඇත. මීට අමතරව මිත්සුබිෂි හෙවි ඉන්ඩස්ට්‍රීස්, තොෂිබා සහ IHI වැනි ජපාන සමාගම් ද මෙම දැවැන්ත ව්‍යාපෘතියට දායක වීමේ හැකියාවක් පවතී.
කෘත්‍රිම බුද්ධිය (AI) ආශ්‍රිත දත්ත මධ්‍යස්ථානවල වර්ධනයත් සමඟ ඉහළ යන විදුලි ඉල්ලුම සපුරාලීම සඳහා දේශීය බලශක්ති නිෂ්පාදනය ඉහළ නැංවීම ජනාධිපති ට්‍රම්ප්ගේ ප්‍රධාන ආර්ථික ඉලක්කයකි. ජපානය දැනටමත් අමෙරිකාව තුළ ඩොලර් බිලියන 36ක් වටිනා ව්‍යාපෘති තුනක් ප්‍රකාශයට පත් කර ඇති අතර, නව න්‍යෂ්ටික ව්‍යාපෘතියට අමතරව ඩොලර් බිලියන 2ක තඹ නිස්සාරණය කිරීමේ සහ පිරිපහදු කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම පිළිබඳව ද අවධානය යොමු වී ඇත. ජපාන වෙළඳ අමාත්‍ය රියෝසෙයි අකසාවා (Ryosei Akazawa) මහතා මේ පිළිබඳව වැඩිදුර සාකච්ඡා කිරීම සඳහා හෙට (05) අමෙරිකාව බලා පිටත්ව යාමට නියමිතය.
මෙම ආයෝජන පැකේජය හරහා ජපානය සහ අමෙරිකාව අතර පවතින වෙළඳ සබඳතා නව මානයකට ගෙන යන අතරම, ගෝලීය බලශක්ති අර්බුද හමුවේ නොසැලී සිටීමට අවශ්‍ය පදනම සකස් කරනු ඇත. විශේෂයෙන්ම මැදපෙරදිග යුද්ධය නිසා තෙල් සහ ගෑස් මිල ගණන් උච්චාවචනය වන පසුබිමක, මෙවැනි විකල්ප බලශක්ති ප්‍රභවයන් කෙරෙහි යොමු වීම කාලෝචිත පියවරක් ලෙස ආර්ථික විශේෂඥයෝ හඳුන්වති.













