ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වර්ණාලේප නිෂ්පාදකයෙකු වන JAT Holdings PLC සමාගම, සිය බයින්ඩර් (Binder) නිෂ්පාදන කම්හලේ දෙවන අදියරේ ව්‍යාප්ති කටයුතු සාර්ථකව නිම කර ඇති බව අද (05) නිවේදනය කළේය. මෙම ව්‍යාප්තියත් සමඟ කම්හලේ නිෂ්පාදන ධාරිතාව 76% කින් ඉහළ ගොස් ඇති අතර, එමගින් දේශීය මෙන්ම කලාපීය වෙළඳපොළවල් සඳහා අවශ්‍ය ඉමල්ෂන් සහ ආලේපන නිෂ්පාදනය ශක්තිමත් කිරීමට අපේක්ෂා කෙරේ. බයින්ඩර් යනු ඉමල්ෂන් සහ කාර්මික වර්ණාලේප නිෂ්පාදනයේදී භාවිතා කරන ප්‍රධානතම අමුද්‍රව්‍යයකි.
මීට පෙර පැවති පහසුකම් ප්‍රධාන වශයෙන් එළිමහන් ලී ආලේපන (Exterior wood coatings) සඳහා සීමා වී තිබුණ ද, නව ව්‍යාප්තියත් සමඟ ගෘහස්ථ ලී ආලේපන (Interior wood coatings) ක්ෂේත්‍රයට අවශ්‍ය අමුද්‍රව්‍ය සැපයීමට ද සමාගමට හැකියාව ලැබී ඇත. මෙමගින් විදේශයන්ගෙන් අමුද්‍රව්‍ය ආනයනය කිරීම මත පවතින යැපීම අවම වන අතර, නිෂ්පාදන ක්‍රියාවලියේ ගුණාත්මකභාවය සහ පාලනය සෘජුවම සමාගම සතු කර ගැනීමට අවස්ථාව හිමි වේ.
ලෝක වෙළඳපොළේ පවතින නැව් ගාස්තු, බලශක්ති මිල සහ විදේශ විනිමය අනුපාතයන්හි උච්චාවචනයන් හේතුවෙන් නිෂ්පාදන පිරිවැය ඉහළ යාමේ අභියෝගයට මුහුණ දීමට මෙම පියවර මහත් පිටුවහලක් වනු ඇත. දේශීයව බයින්ඩර් නිෂ්පාදනය කිරීම මගින් පිරිවැය ස්ථාවරව පවත්වා ගැනීමටත්, සැපයුම් දාමයේ ඇති විය හැකි බාධාවන්ගෙන් ආරක්ෂා වීමටත් JAT Holdings සමාගමට හැකියාව ලැබේ. මීට අමතරව, බංග්ලාදේශයේ ද ඇල්කයිඩ් රෙසින් (Alkyd Resin) නිෂ්පාදන කම්හලක් පවත්වාගෙන යමින් සමාගම සිය ජාත්‍යන්තර නිෂ්පාදන ජාලය ශක්තිමත් කරමින් සිටී.
සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නිෂාල් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, මෙම ආයෝජනය හරහා ලෝක වෙළඳපොළේ පවතින අස්ථාවරත්වය හමුවේ ස්ථාවර මිලක් පවත්වා ගැනීමට සහ නිෂ්පාදන ගුණාත්මකභාවය ඉහළ නැංවීමට හැකි වන බවයි. එසේම, දිගු දුර ප්‍රවාහනය මත යැපීම අවම කිරීම මගින් සමාගමේ තිරසාර සංවර්ධන අරමුණු (Sustainability goals) කරා ළඟා වීමට ද මෙය උපකාරී වේ. ශ්‍රී ලාංකීය බහුජාතික සමාගමක් ලෙස JAT Holdings ලැබූ මෙම ජයග්‍රහණය දේශීය කර්මාන්ත ක්ෂේත්‍රයේ නව පිම්මක් ලෙස සැලකේ.















