අමෙරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් සහ ඉරාන නියෝජිතයන් අතර පාකිස්තානයේ ඉස්ලාමාබාද් නුවරදී පැවැත්වීමට නියමිත තීරණාත්මක සාකච්ඡා වටය කෙරෙහි ලෝක අවධානය යොමුව තිබේ. පාකිස්තානය දෙපාර්ශවයේම විශ්වාසය දිනාගත් සත්කාරකයෙකු ලෙස කටයුතු කළද, සාර්ථක එකඟතාවකට පැමිණීම සඳහා විසඳාගත යුතු ඉතා සංකීර්ණ ගැටලු පහක් පවතින බව දේශපාලන විශ්ලේෂකයෝ පෙන්වා දෙති.
පළමු බාධකය වන්නේ ලෙබනනයේ පවතින යුදමය තත්ත්වයයි. ඉරානයේ ප්‍රධාන මිත්‍රයෙකු වන හෙස්බුල්ලා සංවිධානයට එරෙහිව ඊශ්‍රායලය දියත් කරන ප්‍රහාර නතර නොකරන්නේ නම් සාකච්ඡාවලින් පලක් නොවන බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කර ඇත. දෙවනුව, හෝමුස් සමුද්‍ර සන්ධියේ නාවික ගමනාගමනය පාලනය කිරීමට ඉරානය දරන උත්සාහය සහ ඒ සඳහා නෞකාවලින් මුදල් අය කරන බවට එල්ල වන චෝදනා හමුවේ ඩොනල්ඩ් ට්‍රම්ප් සිය දැඩි විරෝධය පළ කර තිබේ.
තෙවන සහ වඩාත්ම දීර්ඝකාලීන ගැටලුව වන්නේ ඉරානයේ න්‍යෂ්ටික වැඩපිළිවෙළයි. තමන්ට සිවිල් කටයුතු සඳහා යුරේනියම් සාරවත් කිරීමට අයිතියක් ඇති බව ඉරානය පවසන අතර, ට්‍රම්ප් පාලනය අවධාරණය කරන්නේ ඉරානයට කිසිසේත්ම න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කිරීමට ඉඩ නොදෙන බවයි. හතරවනුව, මැදපෙරදිග කලාපයේ පවතින හූති, හමාස් සහ ඉරාක මිලීෂියා කණ්ඩායම් ඇතුළත් ඉරාන හිතවාදී සන්නද්ධ ජාලය හෙවත් “ප්‍රතිරෝධයේ අක්ෂය” (Axis of Resistance) පිළිබඳව පවතින මතභේදයයි. අවසාන වශයෙන්, දශක ගණනාවක් තිස්සේ පනවා ඇති ආර්ථික සම්බාධක ඉවත් කර ගැනීම සහ විදෙස් බැංකුවල රඳවා ඇති ඩොලර් බිලියන 120ක පමණ ඉරාන මුදල් නිදහස් කර ගැනීම ඉරානයේ ප්‍රධාන ඉල්ලීමක් වී ඇති අතර, සාකච්ඡා ඇරඹීමට පෙර එම සහන ලබා දීමට අමෙරිකාව මෙතෙක් එකඟ වී නොමැත.














