ජෙෆ්රි එප්ස්ටයින්ගේ ලිංගික ජාවාරම් විමර්ශනයට අදාළ ලිපිගොනු මිලියන ගණනක් හැසිරවීම සම්බන්ධයෙන් ඇමරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානීන් ලබා දුන් රහසිගත කරුණු පැහැදිලි කිරීමේ හමුවකින් ඩිමොක්‍රටික් පක්ෂ මන්ත්‍රීවරුන් විරෝධය පළ කරමින් පිටව ගොස් තිබේ. නීතිපතිනි පැම් බොන්ඩි සහ නියෝජ්‍ය නීතිපති ටොඩ් බ්ලාන්ච් විසින් පවත්වන ලද මෙම හමුව එප්ස්ටයින් ලිපිගොනු සම්බන්ධයෙන් පවතින දේශපාලන නොසන්සුන්තාව සමනය කිරීමේ අරමුණින් සංවිධානය කර තිබූවකි. ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන් අවධාරණය කරන්නේ නීතිපතිනිය කෙරෙහි තමන්ට විශ්වාසයක් නොමැති බැවින් ලබන අප්‍රේල් 14 වනදා ඇයව කැඳවා දිවුරුම් පිට ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කරන බවයි. විශේෂයෙන්ම ට්‍රම්ප් පරිපාලනය නියෝජනය කරන රිපබ්ලිකන් පක්ෂයේ මන්ත්‍රීවරුන් පස් දෙනෙකු ද මෙම සිතාසියට සහය පළ කර තිබීම මෙහි ඇති සුවිශේෂී තත්ත්වයකි.
ලිපිගොනු ප්‍රසිද්ධ කිරීමේදී අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ඇතැම් තොරතුරු වසන් කර ඇති බවටත්, වින්දිතයන්ගේ රහස්‍යභාවය ආරක්ෂා කිරීමට නිසි පියවර ගෙන නොමැති බවටත් මන්ත්‍රීවරුන්ගෙන් බරපතල චෝදනා එල්ල වේ. කෙසේ වෙතත් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හෝ වෙනත් ප්‍රබල පුද්ගලයන් ආරක්ෂා කිරීමට රජය කිසිදු උත්සාහයක් නොගන්නා බවත් සියලු ලිපිගොනු නීත්‍යානුකූලව හෙළිදරව් කරමින් පවතින බවත් අධිකරණ දෙපාර්තමේන්තුව පවසයි. මෙම අර්බුදය හමුවේ ඇමරිකානු දේශපාලන ක්ෂේත්‍රය තුළ දැඩි උණුසුම් තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර එප්ස්ටයින් නඩුවට අදාළව තවදුරටත් නව තොරතුරු හෙළිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.














