මීට දශක හතරකට පෙර දකුණු මේරිලන්ඩ් ප්‍රාන්තයේදී තරුණියක පැහැරගෙන ගොස්, අතිශය අමානුෂික ලෙස සමූහ දූෂණයට ලක් කර ඝාතනය කිරීමේ වරදට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින ජෙරී ලී බීටි (Jerry Lee Beatty) නිදහස් කරන ලෙස ඉදිරිපත් කළ ඉල්ලීම එරට අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. 1982 වසරේදී සිදුවූ 18 හැවිරිදි ස්ටෙෆනි රෝපර්ගේ (Stephanie Roper) ඝාතනය සම්බන්ධයෙන් වරදකරු වන විට 59 හැවිරිදි බීටිගේ වයස අවුරුදු 17කි. තරුණ වැරදිකරුවන් පුනරුත්ථාපනය කිරීමේ පනත යටතේ ඔහු මෙම නිදහස ඉල්ලා සිටියද, විනිසුරු එලිසබෙත් මොරිස් එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කළාය.
අධිකරණ වාර්තාවලට අනුව, පැය පහක කාලයක් පුරා දිවගිය මෙම බිහිසුණු අපරාධයේදී බීටි හුදෙක් නිරීක්ෂකයෙකු නොව, ඉතා ක්‍රියාකාරී සහ කැමැත්තෙන් අපරාධයට දායක වූවෙකු බව තහවුරු වී ඇත. වින්දිත ස්ටෙෆනි රෝපර් තමන්ව නිදහස් කරන ලෙස බැගෑපත් වෙද්දීත්, ඇය පලායෑමට උත්සාහ කළ අවස්ථාවේදී ලුහුබැඳ ගොස් ඇයව නැවත අල්ලා ගැනීමට බීටි කටයුතු කර තිබේ. ඇයට වෙඩි තැබීමෙන් පසු, ඇය ජීවත්ව සිටියදීම ශරීරයට පෙට්‍රල් වත්කර ගිනි තැබීමට ද මොහු සහාය වී ඇති අතර, පසුව සිරුර වගුරු බිමක සඟවා තිබේ.
විනිසුරුවරිය සිය තීන්දුවේ සඳහන් කළේ, බීටි දශක කිහිපයක් තිස්සේ සිරගෙදරදී අධ්‍යාපනය ලබා උපාධියක් ලබාගෙන යහපත් කල්ක්‍රියාවෙන් පසු වුවද, තමන් කළ අපරාධයේ බරපතළකම පිළිගැනීමට හෝ ඒ පිළිබඳව අවංකවම පසුතැවීමට ඔහු මෙතෙක් අපොහොසත් වී ඇති බවයි. ඔහු තවමත් සමාජයට අනතුරුදායක පුද්ගලයෙකු බවත්, මෙවැනි අමානුෂික අපරාධකරුවෙකුට දඬුවම් ලිහිල් කිරීම යුක්තිය පසිඳලීමට බාධාවක් බවත් අධිකරණය අවධාරණය කළේය. මෙම තීන්දුව ස්ටෙෆනි රෝපර්ගේ පවුලේ සාමාජිකයන්ට සහ වසර 40ක් පුරා යුක්තිය වෙනුවෙන් සටන් කළ ඇයගේ මවට ලැබුණු විශාල ජයග්‍රහණයක් ලෙස සැලකේ.














