ඇමෙරිකානු සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරයේ ප්‍රබල නායකයෙකු සහ හිටපු ජනාධිපති අපේක්ෂකයෙකු වූ ගරු ජෙසී ජැක්සන් (Jesse Jackson) මහතා වයස අවුරුදු 84ක්ව සිටියදී ඊයේ (17) අභාවප්‍රාප්ත විය. චිකාගෝ නුවර සිය නිවසේදී පවුලේ සාමාජිකයන් මැද ඔහු අවසන් හුස්ම හෙළූ බව ඔහුගේ පවුලේ උදවිය තහවුරු කළහ.
ආචාර්ය මාටින් ලූතර් කිං (Jr.) ගේ සමීපතම අනුගාමිකයෙකු වූ ඔහු, 1968 දී මාටින් ලූතර් කිං ඝාතනයට ලක්වන අවස්ථාවේදී ද ඔහු අසලම රැඳී සිටියේය. ඉන් අනතුරුව දශක පහකට වැඩි කාලයක් ඇමෙරිකාවේ කළු ජාතිකයන්ගේ අයිතිවාසිකම්, සමාජ සාධාරණත්වය සහ ආර්ථික සමානතාව වෙනුවෙන් පෙනී සිටිමින් ඔහු ප්‍රබල හඬක් නැගීය.
ඔහු 1984 සහ 1988 වසරවලදී ඇමෙරිකානු ජනාධිපති ධුරය සඳහා ඩිමොක්‍රටික් පක්ෂයෙන් තරග කිරීමට ඉදිරිපත් වූ අතර, ජනාධිපති අපේක්ෂකත්වය සඳහා මෙතරම් ප්‍රබල තරගයක් ලබා දුන් පළමු අප්‍රිකානු-ඇමෙරිකානු ජාතිකයා ඔහු විය. මෙය පසුව බැරැක් ඔබාමා වැනි නායකයන්ට ජනාධිපති ධුරය කරා යාමට මාවත විවර කළ සන්ධිස්ථානයක් ලෙස සැලකේ.
ඔහු විසින් ආරම්භ කරන ලද “රේන්බෝ පුෂ්” (Rainbow/PUSH Coalition) සංවිධානය හරහා සමාජයේ කොන්වූ සහ පීඩිත ජනතාව වෙනුවෙන් විශාල මෙහෙවරක් ඉටු කළේය. “බලාපොරොත්තුව ජීවමානව තබා ගන්න” (Keep Hope Alive) යනු ඔහුගේ ජනප්‍රියතම පාඨය විය. දිගුකාලීන පාකින්සන් රෝගයෙන් (Parkinson’s Disease) පෙළුණු ඔහු, සිය අවසන් කාලය දක්වාම මානව හිමිකම් වෙනුවෙන් හඬ නැගීය.
වත්මන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, හිටපු ජනාධිපතිවරුන් වන බැරැක් ඔබාමා, ජෝ බයිඩන් මෙන්ම ලොව පුරා නායකයන් රැසක් ජෙසී ජැක්සන් මහතාගේ අභාවය වෙනුවෙන් සිය ශෝකය පළ කර තිබේ.














