මැදපෙරදිග කලාපයේ පවතින යුදමය වාතාවරණය හේතුවෙන් ගුවන් යානා ඉන්ධන මිල ශීඝ්‍රයෙන් ඉහළ යාම මත ඔස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර ක්‍රියාත්මක වන ගුවන් වාර කිහිපයක් අවලංගු කිරීමට ජෙට්ස්ටාර් (Jetstar) ගුවන් සේවය පියවර ගෙන තිබේ. මෙම තත්ත්වය මත එළඹෙන මැයි මාසයේදී සැලසුම් කර තිබූ ගුවන් වාරවලින් සියයට 12ක ප්‍රමාණයක් අත්හිටුවීමට සිදුව ඇති බව එම සමාගම නිවේදනය කරයි. විශේෂයෙන්ම ඕක්ලන්ඩ්, ක්‍රයිස්ට්චර්ච් සහ වෙලින්ටන් වැනි නවසීලන්ත නගරවල සිට සිඩ්නි සහ බ්‍රිස්බේන් වැනි ඔස්ට්‍රේලියානු ගමනාන්ත දක්වා ක්‍රියාත්මක වන ගුවන් ගමන් මෙලෙස සීමා වී ඇත.
පවතින ඉන්ධන අර්බුදය සහ අනෙකුත් මෙහෙයුම් පිරිවැය ඉහළ යාම හේතුවෙන් ගුවන් ගමන් කාලසටහනෙහි තාවකාලික වෙනස්කම් සිදු කිරීමට සිදු වූ බවත්, ඒ පිළිබඳව මගීන්ගෙන් සමාව අයදින බවත් ජෙට්ස්ටාර් සමාගමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේය. කෙසේ වෙතත්, අවලංගු කරන ලද ගුවන් වාර වෙනුවට එදිනම ක්‍රියාත්මක වන විකල්ප ගුවන් ගමන් ලබා දීමට සමාගම පියවර ගෙන තිබේ. මැදපෙරදිග ගැටුම් හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ බලශක්ති සැපයුමට එල්ල වී ඇති බලපෑම හමුවේ වියට්නාමය සහ මියන්මාරය වැනි රටවල ගුවන් සේවා ද සිය දේශීය ගුවන් ගමන් වාර සීමා කිරීමට මීට පෙර පියවර ගෙන තිබුණි.















