ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය (JICA) විසින් ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) වෙත ලබා දුන් නවීන ඩ්‍රෝන යානා, නායයෑම් ආපදා වැළැක්වීම සහ හදිසි පියවර සැලසුම් කිරීමේ කටයුතු සඳහා පමණක් සුවිශේෂී ලෙස යොදා ගැනීමට තීරණය කර ඇත. 2025-2028 කාලසීමාව සඳහා ක්‍රියාත්මක ‘ප්‍රත්‍යස්ථ මාර්ග ප්‍රවාහනය සඳහා නායයෑම් ආපදා වැළැක්වීමේ ධාරිතාව ශක්තිමත් කිරීමේ ව්‍යාපෘතිය’ යටතේ පසුගිය පෙබරවාරි 26 වනදා මෙම ඩ්‍රෝන යානා නිල වශයෙන් භාර දී තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී එල්ල වූ ‘ඩිට්වා’ (Ditwah) සුළි කුණාටුවෙන් සිදු වූ දැඩි හානිවලින් පසු මාර්ග සංවර්ධන අධිකාරිය කළ හදිසි ඉල්ලීමකට අනුව මෙම සහයෝගය ලබා දී ඇත. මෙම ඩ්‍රෝන යානා මඟින් උපද්‍රව සහිත බෑවුම් නිරීක්ෂණය කිරීම, නායයෑම්වලට ලක් වූ ප්‍රදේශ තක්සේරු කිරීම සහ අධි අවදානම් සහිත මාර්ග කොටස් හඳුනා ගැනීම වඩාත් වේගවත්ව සිදු කිරීමට මෙරට ඉංජිනේරුවන්ට සහ ජපාන විශේෂඥයින්ට හැකියාව ලැබෙනු ඇත. තත්‍ය කාලීන දත්ත රැස් කිරීම, ත්‍රිමාණ (3D) ආකෘති නිර්මාණය සහ මාර්ග වත්කම් කළමනාකරණ පද්ධතියට ඉහළ විභේදනයකින් යුත් දත්ත ඇතුළත් කිරීම හරහා ආපදා අවස්ථාවලදී නිවැරදි තීරණ ගැනීමට මෙම තාක්ෂණය ඉවහල් වන බව JICA ආයතනය පෙන්වා දෙයි.














