ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටින හොංකොං මාධ්‍ය දැවැන්තයෙකු වන ජිමී ලායිට එරෙහිව පනවා තිබූ වංචා චෝදනා සහ සිරදඬුවම ඉවත් කිරීමට හොංකොං අභියාචනාධිකරණය අද (26) තීන්දු කළේය. මෙය වසර ගණනාවක් පුරා චීන විවේචකයෙකු ලෙස විවිධ නඩුකරයන්ට මුහුණ දෙමින් සිටින ලායි ලැබූ සුවිශේෂී සහ දුර්ලභ නීතිමය ජයග්‍රහණයක් ලෙස සැලකේ. සිය මූලස්ථාන ගොඩනැගිල්ලේ බදු කොන්දේසි උල්ලංඝනය කරමින් පෞද්ගලික සමාගමක් පවත්වාගෙන ගිය බවට එල්ල වූ චෝදනාව මත 2022 වසරේදී ඔහුට වසර පහකුත් මාස නවයක සිරදඬුවමක් නියම වී තිබුණි. එහෙත් අභියාචනාධිකරණ විනිසුරුවරුන් පෙන්වා දුන්නේ මීට පෙර මෙම නඩුව විභාග කළ මහාධිකරණ විනිසුරුවරයා නීතිමය කරුණු වටහා ගැනීමේදී දෝෂයක් (erred) සිදුකර ඇති බැවින් එම වංචා චෝදනා ස්ථිර කළ නොහැකි බවයි.
මෙම නීතිමය ජයග්‍රහණය ලැබුණද, 78 හැවිරිදි ජිමී ලායිට නිදහස හිමි නොවන අතර ඔහු තවදුරටත් බන්ධනාගාරගතව පසුවනු ඇත. ඒ, විදේශීය බලවේග සමඟ කුමන්ත්‍රණය කිරීම සහ රාජද්‍රෝහී ද්‍රව්‍ය ප්‍රකාශයට පත් කිරීම යන ජාතික ආරක්ෂක නීතිය යටතේ එල්ල වූ වෙනත් චෝදනා මත ඔහුට පසුගියදා වසර 20ක සිරදඬුවමක් නියම වූ බැවිනි. දැනට වසර පහකට වැඩි කාලයක් හුදෙකලා සිරකුටියක පසුවන ලායිගේ සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පිරිහෙමින් පවතින බව ඔහුගේ දරුවන් පෙන්වා දී තිබේ. අධික රුධිර පීඩනය, හෘද ස්පන්දනයේ අසාමාන්‍යතා සහ පෙනීම දුර්වල වීම වැනි රෝගී තත්ත්වයන්ගෙන් ඔහු පීඩා විඳින බව වාර්තා වේ.
ජිමී ලායි නිදහස් කරන ලෙස ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන මෙන්ම අමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් රැසක් චීනයෙන් දිගින් දිගටම ඉල්ලා සිටියි. විශේෂයෙන්ම අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ සම්බන්ධයෙන් චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ සාකච්ඡා කර ඇති අතර, ලබන මාර්තු මස අවසානයේදී සිදු කිරීමට නියමිත බීජිං සංචාරයේදී ද මෙම කරුණ කෙරෙහි දැඩි අවධානයක් යොමු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ. 2019 වසරේ හොංකොංහි පැවති දැවැන්ත ප්‍රජාතන්ත්‍රවාදී විරෝධතාවලින් පසුව පනවන ලද දැඩි ජාතික ආරක්ෂක නීති යටතේ දඬුවම් ලැබූ ප්‍රමුඛතම පුද්ගලයා වන්නේ ජිමී ලායි ය.














