මහවැලි ගඟ සහ එහි ඉවුරු පද්ධතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් මහියංගණ ප්‍රාදේශීය ලේකම් විමංස සෙනෙවිරත්න මහතාගේ මෙහෙයවීමෙන් පසුගිය 11 සහ 12 යන දිනවල විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් පවත්වන ලදී. මෑතකදී ඇති වූ ‘දිට්වා’ සුළි කුණාටුව සමඟ ගඟට එකතු වූ වැලි කැණීම සඳහා නව බලපත්‍ර 128ක් ඉල්ලා තිබූ පසුබිමක, නීතිවිරෝධී වැලි ජාවාරම පාලනය කිරීම මෙහි ප්‍රධාන අරමුණ විය.
පඟරගම්මන ප්‍රදේශයේ පරීක්ෂාවන් සිදුකරමින් සිටියදී, වැලි ව්‍යාපාරිකයන් කිහිප දෙනෙකු එක්ව “පඟරගම්මන මුස්ලිම් මිනිසුන්ට වැලි ගොඩදාන්න එපා කියනවාද?” යනුවෙන් පවසමින් ජාතිවාදය ඉස්මතු කරමින් රාජ්‍ය නිලධාරීන්ට බලපෑම් කිරීමට උත්සාහ කළහ. එහිදී වහාම මැදිහත් වූ මහියංගණ පොලිස් ස්ථානාධිපති සිසිර බණ්ඩාර හේරත් මහතා, ජාතිවාදය පතුරුවා ගැටුම් ඇති කිරීමට උත්සාහ කළහොත් අත්අඩංගුවට ගන්නා බවට දැඩිව අවවාද කරමින් තත්ත්වය සමථයකට පත් කළේය.
මෙම මෙහෙයුමේදී වැලි කැණීම සම්බන්ධයෙන් නව දැඩි නීති මාලාවක් හඳුන්වා දී ඇත. ඒ අනුව, මින්පසු කිසිදු ට්‍රැක්ටර් රථයක් ගඟේ වැල්ල දක්වා රැගෙන යා නොහැකි අතර, වැලි ප්‍රවාහනය කළ යුත්තේ කර මතින් රැගෙන ගොස් ගොඩබිමේ නවතා ඇති ට්‍රැක්ටර් වෙත පැටවීමෙනි. එසේම එක් තොටුපළකට භාවිතා කළ හැක්කේ එක් ෆයිබර් බෝට්ටුවක් පමණි.
මෙම වැටලීමෙන් බේරීම සඳහා ඇතැම් ජාවාරම්කරුවන් සිය අමතර බෝට්ටු ගඟේ පඳුරු අස්සේ සඟවා තිබූ අතර, තවත් පිරිසක් බෝට්ටු ජලයේ ගිල්වා තිබුණි. කෙසේ වෙතත්, ඩ්‍රෝන කැමරා තාක්ෂණය භාවිත කරමින් එම සියලු බෝට්ටු නිරීක්ෂණය කිරීමට නිලධාරීන් සමත් විය. නීති උල්ලංඝනය කළ තොටුපළ 22කට අදාළ නව බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවීමටත්, අමතර බෝට්ටු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමටත් ප්‍රාදේශීය ලේකම්වරයා නියෝග කර තිබේ.














