ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් සහ පක්ෂ නියෝජිතයින් රැසකගේ සහභාගිත්වයෙන් හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතාගේ නාරාහේන්පිට චිත්‍රා පටුමගේ පිහිටි නිවසේදී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඊයේ (30) පස්වරු 6.00 සිට රාත්‍රී 8.00 දක්වා මෙම සාකච්ඡාව පවත්වා ඇත.
බාල ගල් අඟුරු ආනයනය කිරීම හේතුවෙන් රටේ විදුලි නිෂ්පාදනයට සහ සමස්ත ආර්ථිකයට සිදුව ඇති බරපතල හානිය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමටත්, ඒ සම්බන්ධයෙන් නීතිමය වශයෙන් ගත යුතු ක්‍රියාමාර්ග කඩිනම් කිරීමටත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා වී තිබේ. මීට අමතරව කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව මීට පෙර ගබඩා කර තිබූ තෙල් තොග සඳහා තෙල් මිල ඉහළ දැමීම සහ විදුලි ගාස්තු ඉහළ දැමීම පිළිබඳව රට පුරා ජනතාව දැනුවත් කිරීමට ද මෙහිදී පක්ෂ නායකයින් කිහිපදෙනෙකුම යෝජනා ඉදිරිපත් කර ඇත.
‘මාලිමාවේ බාල ගල් අඟුරු’ යන මැයෙන් රට පුරා ඒකාබද්ධ විපක්ෂය විසින් සම්මන්ත්‍රණ මාලාවක් සංවිධානය කිරීමට මෙහිදී තීරණය වී ඇති අතර, පසුගියදා අවිස්සාවේල්ලේදී පැවැත්වූ සම්මන්ත්‍රණය සාර්ථක වූ බව පක්ෂ නායකයින් පෙන්වා දී තිබේ. මෙහි මීළඟ සම්මන්ත්‍රණය මැයි මස මුලදී මාතරදී පැවැත්වීමට හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා කැමැත්ත පළ කර ඇති අතර ඉන් අනතුරුව ගම්පහ සහ කළුතර යන දිස්ත්‍රික්කවල ද එම සම්මන්ත්‍රණ පැවැත්වීමට ඊයේ තීරණය කෙරිණි. එසේම විදුලි ගාස්තුව ඉහළ නැංවීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය විසින් විශේෂ මාධ්‍ය හමුවක් හෙට (01) දිනයේ පැවැත්වීමට ද මෙහිදී තීරණය වී ඇත.
මෙම සාකච්ඡාව සඳහා නිමල් සිරිපාල ද සිල්වා, පාඨලී චම්පික රණවක, තලතා අතුකෝරාල, සාගල රත්නායක, මනෝ ගනේෂන්, රෝහිත අබේගුණවර්ධන, ප්‍රේමනාත් සී. දොළවත්ත, සුගීශ්වර බණ්ඩාර, මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න, නිමල් ලාංසා, සුදත් මංජුල, ගාමිණී වලේබඩ, රංජන් සෙනවිරත්න, සෙනාල් වෙල්ගම ඇතුළු තවත් දේශපාලන පක්‍ෂ රැසකම නියෝජිතයින් එක්ව සිටි බව වාර්තා වේ.















