ඇමරිකාවේ TLC නාලිකාවේ විකාශය වූ ’19 Kids and Counting’ රියැලිටි වැඩසටහන හරහා ලොව පුරා ප්‍රසිද්ධියට පත් ජෝසප් ඩගර්, බාලවයස්කාර දැරියකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත පසුගිය බදාදා අත්අඩංගුවට ගෙන තිබේ. ෆ්ලොරිඩා ප්‍රාන්තයේ බේ කවුන්ටි (Bay County) පොලිසිය පවසන්නේ, 2020 වසරේදී පැනමා සිටි බීච් හි පැවති පවුලේ විනෝද චාරිකාවකදී එවකට නව හැවිරිදි වියේ පසුවූ දැරියකට ලිංගික අතවර කළ බවට ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි.
දැනට 14 වන වියේ පසුවන අදාළ දැරිය විසින් කරන ලද පැමිණිල්ලකට අනුව මෙම විමර්ශන ආරම්භ කර ඇත. ඇය පවසන්නේ එම චාරිකාව අතරතුර ජෝසප් ඩගර් තමන්ව සිය උකුල මත වාඩි කරවා ගැනීමට නිරන්තරයෙන් උත්සාහ කළ බවත්, එහිදී අනිසි ලෙස ශරීරය ස්පර්ශ කළ බවත්ය. අත්අඩංගුවට ගැනීමට පෙර දැරියගේ පියා විසින් ජෝසප්ගෙන් මේ පිළිබඳව විමසා ඇති අතර, එහිදී තමන් අතින් එම වරද සිදුවූ බව ඔහු පිළිගෙන ඇති බව ද පොලිසිය සඳහන් කරයි.
ජෝසප් ඩගර්ගේ වැඩිමහල් සොහොයුරා වන ජෝෂ් ඩගර් (Josh Duggar) ද මීට පෙර සිය සහෝදරියන් ඇතුළු කුඩා දරුවන් පස් දෙනෙකුට අපචාර කිරීමේ චෝදනාවලට ලක්වූ අයෙකි. ඔහු ළමා අපචාර දර්ශන සන්තකයේ තබා ගැනීමේ වරදට 2022 වසරේ සිට වසර 12ක සිරදඬුවමක් විඳිමින් සිටියි. මෙම නවතම අත්අඩංගුවට ගැනීමත් සමඟ ඩගර් පවුලේ රූපවාහිනී ප්‍රසිද්ධිය සහ ඔවුන්ගේ හැසිරීම් පිළිබඳව නැවතත් දැඩි සමාජ විවේචනයක් එල්ල වී තිබේ.
අර්කන්සාස් (Arkansas) ප්‍රාන්තයේදී අත්අඩංගුවට ගත් ජෝසප් ඩගර්, නඩු විභාගය සඳහා ඉදිරියේදී ෆ්ලොරිඩා ප්‍රාන්තය වෙත පිටුවහල් කිරීමට නියමිතය. ඔහු සිය බිරිඳ වන කේන්ද්‍රා ඩගර් සමඟ දරුවන් කිහිප දෙනෙකුගේ පියෙකු ද වේ.














