අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන ජාතික ප්‍රතිත්‍රස්ත මධ්‍යස්ථානයේ (NCTC) අධ්‍යක්ෂ ජෝසප් කෙන්ට් (Joseph Kent) අද (17) සිය ධුරයෙන් ඉල්ලා අස්විය. ඉරානය සමඟ පවතින යුද්ධයට විරෝධය පළ කරමින් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා අස්වූ පළමු සහ ඉහළම නිලධාරියා ඔහු වේ. ඉරානයෙන් අමෙරිකාවට එල්ල වූ ක්ෂණික තර්ජනයක් නොමැති පසුබිමක මෙම යුද්ධය ආරම්භ කර ඇති බව ඔහු පෙන්වා දෙයි.
ජනාධිපති ට්‍රම්ප් වෙත යොමු කළ සහ X (ට්විටර්) සමාජ මාධ්‍ය ජාලයේ ප්‍රසිද්ධ කළ සිය ඉල්ලා අස්වීමේ ලිපිය මගින් කෙන්ට් අවධාරණය කළේ, ඉරානය අමෙරිකාවට කිසිදු ක්ෂණික තර්ජනයක් එල්ල නොකළ බවත්, ඊශ්‍රායලයේ සහ එහි බලවත් ලොබි කණ්ඩායම්වල පීඩනය මත මෙම යුද්ධය ආරම්භ කර ඇති බව පැහැදිලි බවත්ය. වත්මන් අමෙරිකානු නීතියට අනුව යුද්ධයක් ආරම්භ කිරීමට නම් සතුරු පාර්ශ්වයකින් ක්ෂණික තර්ජනයක් පැවතීම අනිවාර්ය බව විද්වතුන් පෙන්වා දෙන අතර, කෙන්ට්ගේ මෙම හෙළිදරව්ව ඒ අනුව බරපතල නීතිමය ගැටලුවක් ද මතු කරයි.
මෙම ඉල්ලා අස්වීම පිළිබඳව ධවල මන්දිරය හෝ ජාතික බුද්ධි අධ්‍යක්ෂ කාර්යාලය මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැති අතර, බුද්ධි අංශ නිලධාරීන් ද මෙම පුවතින් මවිතයට පත්ව ඇති බව වාර්තා වේ. ජෝසප් කෙන්ට්, ජාතික බුද්ධි අධ්‍යක්ෂ තුල්සි ගැබාඩ්ගේ සමීපතමයෙකු ලෙස සැලකෙන අතර, ඉරාන යුද්ධය ආරම්භ වූ දා සිට ගැබාඩ් ද දැඩි නිහඬතාවක් අනුගමනය කිරීම විශේෂත්වයකි. යුද්ධයෙන් මියගිය අමෙරිකානු සෙබළුන්ගේ දේහයන් භාරගැනීමේ අවස්ථාවන්ට පමණක් ඇය සහභාගී වී ඇති අතර කිසිදු ප්‍රසිද්ධ ප්‍රකාශයක් සිදු කර නොමැත.














