අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (Donald Trump) විසින් ධවල මන්දිරයේ නැගෙනහිර කොටස (East Wing) කඩා ඉවත් කර ඒ වෙනුවට ඉදිකිරීමට සැලසුම් කළ ඩොලර් මිලියන 400ක අති සුඛෝපභෝගී උත්සව ශාලාවේ (Ballroom) වැඩකටයුතු වහාම අත්හිටුවන ලෙස වොෂින්ටන් ෆෙඩරල් විනිසුරුවරයෙකු ඊයේ (31) නියෝග කළේය. පෞරාණික උරුමයන් සුරැකීමේ සංවිධානයක් විසින් ඉදිරිපත් කළ පෙත්සමක් සලකා බලමින් විනිසුරු රිචඩ් ලියොන් (Richard Leon) මෙම තීන්දුව ලබා දී තිබේ.
විනිසුරු රිචඩ් ලියොන් සිය තීන්දුව ප්‍රකාශ කරමින් සඳහන් කළේ, “අමෙරිකානු ජනාධිපතිවරයා යනු අනාගත පරපුර වෙනුවෙන් ධවල මන්දිරය රැකබලා ගන්නා භාරකරු මිස එහි අයිතිකාරයා නොවන” බවයි. ධවල මන්දිරයේ ඓතිහාසික වටිනාකම විනාශ කරමින් මෙවැනි ඉදිකිරීම් සිදු කිරීමට ජනාධිපතිවරයාට නීත්‍යානුකූල බලයක් නොමැති බව ද ඔහු අවධාරණය කළේය. කෙසේ වෙතත්, ධවල මන්දිරයේ ආරක්ෂාවට අදාළ අත්‍යවශ්‍ය ඉදිකිරීම් පමණක් මෙම තහනමෙන් නිදහස් කර ඇත.
මෙම නියෝගය දින 14ක කාලයකට වලංගු වන අතර, එම කාලය තුළ ට්‍රම්ප් පරිපාලනයට මීට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කිරීමට හෝ කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලබා ගැනීමට අවස්ථාව පවතී. වොෂින්ටන් නුවර ධවල මන්දිර පරිශ්‍රයේ දැනටමත් ක්‍රියාත්මක වන ඉදිකිරීම් කටයුතු සහ යන්ත්‍රෝපකරණ මෙම නියෝගයත් සමඟ තාවකාලිකව නතර කිරීමට සිදුවනු ඇත.
















