ජනශක්ති රක්ෂණ සමාගම, ෆස්ට් කැපිටල් හෝල්ඩින්ග්ස් සහ ජනශක්ති ෆිනෑන්ස් යන ආයතන ඇතුළත් JXG සමූහය විසින් ඉදිරිපත් කරන ලද මූලික කොටස් නිකුතුව (IPO) ආරම්භ කළ ඊයේ (09) දිනයේම ආයෝජකයින්ගෙන් ලැබුණු ඉහළ ඉල්ලුම හේතුවෙන් සාර්ථකව අවසන් වූ බව එම සමාගම නිවේදනය කරයි. රුපියල් 10.00 බැගින් වූ සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 500ක් නිකුත් කරමින් රුපියල් බිලියන 5ක ප්‍රාග්ධනයක් රැස් කිරීම මෙහි අරමුණ වූ අතර, නිකුත් කළ ප්‍රමාණය ඉක්මවා ආයෝජන ඉල්ලුම්පත්‍ර ලැබීම නිසා එදිනම පස්වරුවේ නිකුතුව වසා දැමීමට පියවර ගැනුණි.
මෙම කොටස් නිකුතුව සඳහා ඩෙලොයිට් ශ්‍රී ලංකා (Deloitte Sri Lanka) ආයතනය විසින් රුපියල් 15.92ක ස්වාධීන තක්සේරු වටිනාකමක් ලබා දී තිබූ අතර, සමාගම විසින් රුපියල් 10.00ක මිලකට කොටස් නිකුත් කිරීම හරහා ආයෝජකයින්ට සියයට 37.18ක සුවිශේෂී වට්ටමක් ලබා දී තිබීම මෙම ඉහළ ඉල්ලුමට ප්‍රධාන හේතුවක් විය. JXG සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී රමේෂ් ෂාෆ්ටර් මහතා සඳහන් කළේ මෙය වසර 15කට පසු ශ්‍රී ලංකාවේ සිදු වූ විශාලතම මූලික කොටස් නිකුතුව බවයි.
මෙම කොටස් නිකුතුව හරහා රැස් කරගත් අරමුදල්වලින් රුපියල් බිලියන 3.5ක් රක්ෂණ සහ ක්ෂුද්‍ර මූල්‍ය ඇතුළු මූල්‍ය සේවා පුළුල් කිරීමටත්, රුපියල් මිලියන 500ක් කලාපීය වශයෙන් විදේශීය ව්‍යාපාර ව්‍යාප්ත කිරීමටත්, ඉතිරි රුපියල් බිලියනය ණය පියවීම සහ ප්‍රාග්ධන ප්‍රශස්තකරණය සඳහාත් යෙදවීමට නියමිතය. විනිවිදභාවය සහ යහපාලනය තහවුරු කරමින් ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරුන් පස් දෙනෙකුගෙන් යුත් මණ්ඩලයක් සමඟ JXG සමූහය දැන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගමක් ලෙස සිය ගමන ආරම්භ කර තිබේ.














