Netflix නාලිකාවේ විකාශය වූ “KPop Demon Hunters” සජීවීකරණ චිත්‍රපටයේ ඇතුළත් ‘Golden’ ගීතය, ග්‍රැමී සම්මානයක් දිනාගත් පළමු K-pop ගීතය ලෙස අද (02) ඉතිහාසයට එක්විය. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර පැවැති 68 වැනි ග්‍රැමී සම්මාන උළෙලේදී ‘දෘෂ්‍ය මාධ්‍ය සඳහා ලියන ලද හොඳම ගීතය’ (Best Song Written For Visual Media) යන කාණ්ඩය යටතේ මෙම ජයග්‍රහණය වාර්තා විය. ගෝලීය වශයෙන් විශාල ජනප්‍රියත්වයක් දිනාගත් මෙම ගීතය නිර්මාණය කිරීමට දායක වූ EJAE, Teddy, 24 සහ IDIO යන සංගීත නිෂ්පාදකවරුන් සහ පද රචකයන් මෙලෙස ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලැබූ ප්‍රථම K-pop සංගීත නිර්මාණකරුවන් බවට පත්ව සිටිති.
හොලිවුඩයේ සුප්‍රසිද්ධ ‘Variety’ සඟරාව වාර්තා කර සිටියේ, ‘Golden’ ගීතයේ එන “It’s our moment” (මෙය අපේ මොහොතයි) යන පද පේළිය සැබෑ කරමින් K-pop සංගීතය ලෝකයේ ඉහළම ගෞරවයට පාත්‍ර වී ඇති බවයි. මීට පෙර කිසිදු K-pop නිර්මාණයකට හිමි නොවූ මෙම සුවිශේෂී ජයග්‍රහණයත් සමඟ දකුණු කොරියානු සංගීත කර්මාන්තය ජාත්‍යන්තරව නව සන්ධිස්ථානයක් සනිටුහන් කර තිබේ.














