ඇෆ්ගනිස්ථානයේ කාබුල් අගනුවර පිහිටි ‘ඕමාර් මත්ද්‍රව්‍ය නාශක ප්‍රතිකාර රෝහලට’ (Omar Addiction Treatment Hospital) එල්ල වූ මාරාන්තික ගුවන් ප්‍රහාරයකින් පුද්ගලයන් 400 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව ඇෆ්ගන් බලධාරීන් තහවුරු කරයි. පකිස්ථාන හමුදාව විසින් ඊයේ (16) රාත්‍රී 9:00ට පමණ එල්ල කරන ලද මෙම ප්‍රහාරයෙන් තවත් පුද්ගලයන් 250ක් පමණ තුවාල ලබා ඇති අතර මියගිය පිරිසෙන් බහුතරය ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් බව වාර්තා වේ. ඇඳන් 2,000කින් සමන්විත මෙම දැවැන්ත රෝහල් සංකීර්ණයේ විශාල කොටසක් ප්‍රහාරයෙන් සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති අතර සහන සේවා කණ්ඩායම් තවදුරටත් සුන්බුන් අතර මෙහෙයුම් සිදුකරයි.
කෙසේ වෙතත්, මෙම චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කරන පකිස්ථාන රජය පවසන්නේ තමන් ඉලක්ක කළේ කාබුල් සහ නන්ගහාර් ප්‍රදේශවල පිහිටි තලේබාන් හමුදා කඳවුරු සහ අවි ගබඩා පමණක් බවයි. සිවිල් වැසියන්ට හානි නොවන පරිදි ඉතා නිවැරදි ඉලක්ක වෙත පමණක් ප්‍රහාර එල්ල කළ බව පවසන පකිස්ථානය, ඇෆ්ගනිස්ථානය එල්ල කරන මෙම චෝදනා පදනම් විරහිත සහ මහජන මතය නොමග යැවීම සඳහා කරන ප්‍රකාශ බව අවධාරණය කරයි. පසුගිය පෙබරවාරි අග සිට දෙරට අතර පවතින මෙම දේශසීමා ගැටුම් මේ වන විට “විවෘත යුද්ධයක්” (Open War) දක්වා වර්ධනය වී ඇති අතර, මෙම රෝහල් ප්‍රහාරයත් සමඟ කලාපීය ආරක්ෂාව තවදුරටත් දැඩි අවදානමකට ලක්ව තිබේ.














