ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආගමික එකමුතුව සංකේතවත් කරන කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය අද (28) උත්සවශ්‍රීයෙන් පවත්වා තිබේ. සෑම වසරකම ඉන්දීය බැතිමතුන් 3,500කට වැඩි පිරිසක් සහභාගී වන මෙම උත්සවය, නෙදුන්තීවු මීසම් භාර පත්තිනාදන් පියතුමාගේ සහභාගීත්වයෙන් කොඩි එසවීමෙන් ආරම්භ විය. අනතුරුව යාපනය රදගුරු ජෙබරත්නම් ජස්ටින් ඥානප්‍රගාසම් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ දේව මෙහෙයන් පැවැත්වුණි.
වසර සියයකට වැඩි ඉතිහාසයක් ඇති මෙම මංගල්‍යයේ සියලු සංවිධාන කටයුතු ශ්‍රී ලංකා නාවික හමුදාවේ පූර්ණ සහාය යටතේ සිදුකෙරිණි. 1974 දී දෙරට අතර ඇති වූ එකඟතාවයකට අනුව කච්චතිව් දූපතේ අයිතිය ශ්‍රී ලංකාවට හිමි වුවද, දෙරටේ ධීවරයින්ට එය භාවිත කිරීම සඳහා විශේෂ කොන්දේසි යටතේ මෙලෙස ආගමික බැඳීම තහවුරු කරනු ලැබේ.














