කහවත්ත ප්‍රදේශයේදී අතුරුදන්ව සිටි 61 හැවිරිදි ප්‍රකට මැණික් ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්ව තිබේ. විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් එක්ව සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව දෙල්වල පොලිසියේ නිලධාරීන් විසින් කැලෑබද ප්‍රදේශයක සැඟව සිටි මෙම සැකකරු කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු කහවත්ත කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මෙම ව්‍යාපාරිකයා අතුරුදන්ව ඇති බවට පසුගිය ඉරිදා (29) දින පොලිසියට පැමිණිල්ලක් ලැබී තිබුණි. ඒ අනුව සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ ව්‍යාපාරිකයා පසුගිය සෙනසුරාදා (28) දින කහවත්ත-නීලගම මාර්ගයේ යතුරුපැදියකින් ගමන් කර ඇති බවයි.
පසුව ඔහුගේ යතුරුපැදිය අදාළ මාර්ගයේ වංගුවක් අසල අතහැර දමා තිබියදී හමු වූ අතර, ඔහුගේ ජංගම දුරකථනය අසල පිහිටි තේ වත්තක තිබී සොයාගැනුණි. මේ ඔස්සේ පරීක්ෂණ දිගටම ක්‍රියාත්මක කළ පොලිස් කණ්ඩායම්වලට පසුගිය සඳුදා (30) දින පතල් වළක දමා තිබූ ව්‍යාපාරිකයාගේ මළ සිරුර සොයා ගැනීමට හැකි විය.
















