කහවත්ත, නීලගම මාර්ගයේදී මැණික් ව්‍යාපාරිකයෙකු අබිරහස් ලෙස අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කහවත්ත පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ. මෙලෙස අතුරුදන්ව ඇත්තේ කහවත්ත, කට්ටංගේ ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි දෙදරු පියෙකි.
මූලික විමර්ශනවලට අනුව, අදාළ ව්‍යාපාරිකයා ඊයේ (28) දහවල් කාලයේදී යතුරුපැදියකින් නීලගම මාර්ගයේ ගමන් කර ඇති බව අනාවරණය වී ඇත. ඔහුගේ යතුරුපැදිය එම මාර්ගයේ වංගුවක් අසල අතහැර දමා තිබියදී හමුවී ඇති අතර, අද (29) දිනයේදී ඔහුගේ ජංගම දුරකතනය ද මාර්ගය ආසන්නයේ පිහිටි තේ වත්තක තිබී සොයා ගැනීමට පොලීසියට හැකි වී තිබේ.
අතුරුදන් වූ පුද්ගලයා සෙවීම සඳහා පොලිස් නිල සුනඛයන් ද යොදවා මෙහෙයුම් දියත් කළ ද, මෙතෙක් ඔහු පිළිබඳ කිසිදු තොරතුරක් අනාවරණය වී නොමැත. මෙය පැහැර ගැනීමක් ද නැතහොත් වෙනත් අනතුරක් ද යන්න පිළිබඳව විවිධ සැකමතු වී ඇති අතර, කහවත්ත පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනු ලබයි.














