ව්‍යාජ ලේඛන සකස් කරමින් සංවිධානාත්මක අයුරින් පවත්වාගෙන ගිය වාහන ජාවාරමකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු කැලණිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. යුද හමුදා බුද්ධි අංශ සහ පොලිස් බුද්ධි අංශ වෙත ලැබුණු තොරතුරකට අනුව ඊයේ (19) රාත්‍රියේ සිදුකළ විශේෂ වැටලීමකදී මෙම පිරිස කොටු කරගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් සන්තකයේ තිබී ව්‍යාජ ලෙස සකස් කළ ලේඛන සහිත මෝටර් රථයක් සහ M60 වර්ගයේ ගිනිඅවි සඳහා භාවිතා කරන සජීවී පතොරම් 19ක් ද පොලිස් භාරයට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් පිරිස අවුරුදු 26, 35 සහ 40 යන වයස්වල පසුවන නිට්ටඹුව, රද්දාවාන සහ මාකොළ යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත. මෑතකදී වාර්තා වූ රාගම බටුවත්ත ඝාතන සිද්ධිය සහ තවත් අපරාධ රැසක් සම්බන්ධයෙන් විමර්ශන ක්‍රියාත්මක වන පසුබිමක මෙම වැටලීම සිදු කර ඇති අතර බස්නාහිර පළාත් උතුරු අපරාධ කොට්ඨාසය මේ පිළිබඳ වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.














