රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන, වැද්දාගල ප්‍රදේශයේ පිහිටි දුරකන්දෙණිය පතල්කන්ද, අතීතයේ මෙරට පැවති සාරවත්ම මිනිරන් පතලකට උරුමකම් කියූ ඉසව්වකි. කලක් පයිනස් වගාවෙන් වැසී තිබූ මෙම කන්ද, එම වගාව ඉවත් කිරීමත් සමඟ සිය සියවස් පදනම් කරගත් අතීත රහස් යළිත් ලොවට විවර කරමින් පවතී.
මෙම කන්දේ සිරස් පතල්වලට වඩා තිරස් අතට විහිදුණු “ඩබල් දෝනා” (Double Donas) බහුලව පැවතී ඇති අතර මේවා හුස්ම ගැනීමට පවා අපහසු තරම් ගැඹුරට විහිදුණු භූගත උමං මාර්ග බඳුය. මෙහි නිපදවූයේ ඉතා උසස් තත්ත්වයේ පිරිසිදු මිනිරන් වන අතර, අතීතයේ ගැමියන් මිනිරන් රාත්තලක් සත 25කට විකුණා සිය ජීවනෝපාය සරිකරගෙන ඇත. කන්ද මුදුනේ අදටත් නිරුපද්‍රිතව පවතින වෙඩි බෙහෙත් ගබඩාව, පතල් කම්කරුවන්ගේ වාඩි සඳහා උළු සෑදූ රුක්අත්තන ලී අච්චුව සහ පැරණි ණය පොත් මෙම පතලේ සජීවී සාක්ෂි ලෙස ඉතිරිව පවතී. පයිනස් අතු පතරින් වැසී ඇති අඩි ගණනාවක් ගැඹුරු දෝනා විවරයන් අදටත් කන්ද පුරා දක්නට ලැබෙන අතර ඒවා ඕනෑම දෙයක් මොහොතකින් අතුරුදන් වන තරමට බිහිසුණු අගාධයන් වේ.
වන වැස්ම ඉවත් කිරීමත් සමඟ දුරකන්දෙණිය පතල්කන්දේ සැඟවුණු දෝනා මුඛ සහ ගොඩනැගිලි නටබුන් යළි මතුවෙමින් පවතින අතර, එය අතීත හෙළ ශ්‍රමිකයාගේ අභිමනය සහ දුක්කම්කටොලු විදහාපාන ජීවමාන කෞතුකාගාරයක් බඳුය.














