නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ඒමට උත්සාහ කළ එනසාල් කිලෝ ග්‍රෑම් 98 ක පමණ තොගයක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදා භාරයට ගෙන තිබෙනවා. කල්පිටිය, කිරිමුන්දලම මුහුදු ප්‍රදේශයේ සිදු කළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී වයඹ නාවික විධානයට අයත් ශ්‍රී ලංකා නාවික නෞකා ‘විජය’ ආයතනය මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බවයි නාවික හමුදාව පවසන්නේ.
මුහුදේ සැකකටයුතු ලෙස ගමන් කළ ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා පරීක්ෂාවට ලක් කළ අවස්ථාවේදී, එහි සඟවා තිබූ මෙම එනසාල් තොගය නිරීක්ෂණය වී තිබෙනවා. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 19 ක් සහ 41 ක් වන කල්පිටිය ප්‍රදේශයේම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. භාරයට ගත් සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ එනසාල් තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා කටුනායක රේගු නිවාරණ කාර්යාලය වෙත භාරදීමට නාවික හමුදාව පියවර ගෙන තිබෙනවා.














