කළු ගඟේ මෝය වැරදි ස්ථානයකින් කැපීම හේතුවෙන් විකෘති වැලි පර ඇතිවී විනාශයට පත්ව තිබූ කළු ගං කලපුව යථා තත්ත්වයට පත් කිරීමේ මූලික මෙහෙයුම් වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආරම්භ කර තිබේ. මෙහි මූලික පියවර ලෙස ඇළ මාර්ගයක් කපා කළු ගඟේ ජලය නැවත කලපුව වෙත යොමු කිරීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතී.
වසර කිහිපයක සිට පවතින මෙම ගැටලුව හේතුවෙන් කලපුවට ආවේණික මත්ස්‍ය වර්ග විනාශ වී එය දුගඳ හමන “මළ කලපුවක්” බවට පත්ව තිබූ බව බලධාරීහු පෙන්වා දෙති. මේ සම්බන්ධයෙන් පරිසර සංවිධාන කළ මැදිහත්වීම මත පත් කරන ලද විශේෂඥ කමිටුවේ නිර්දේශයන්ට අනුව, මෙම සංවර්ධන යෝජනාව කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සම්මත විය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ සභාපතිත්වයෙන් යුත් එම කමිටුවේ තීරණයකට අනුව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක වේ.
කළු ගං කලපුව පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත් කර සංවර්ධනය කිරීම සඳහා 2026 අයවැය මඟින් රුපියල් මිලියන 100ක ප්‍රතිපාදන වෙන් කර ඇත. මෙමඟින් ප්‍රදේශයේ ධීවර කර්මාන්තයට සහ සංචාරක ව්‍යාපාරයට නැවත පණක් ලැබෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.











