කළුබෝවිල දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ හෘද රෝග සඳහා ප්‍රතිකාර ලබා සුවය ලබන රෝගීන් වෙනුවෙන්, රෝහලෙන් පිටව යන අවස්ථාවේදී අවශ්‍ය ඖෂධ සහ උපදෙස් රෝගියා අසලටම ගොස් ලබාදීමේ නව වැඩපිළිවෙළක් ආරම්භ කර තිබේ. රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරි කිරිවන්දෙණිය මහත්මියගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක වන මෙම සේවාව යටතේ, හෘද රෝගීන් ප්‍රතිකාර ලබන 39 සහ 40 යන වාට්ටුවල රෝගීන්ට මෙම පහසුව සැලසේ. මින් පෙර රෝගීන් ඖෂධ ලබාගැනීම සඳහා පෝලිම්වල රැඳී සිටිය යුතු වුවද, නව ක්‍රමය යටතේ රෝහලේ ඖෂධවේදීන් විසින්ම වාට්ටුවට පැමිණ ඖෂධ බෙදා දීම විශේෂත්වයකි.
මෙම ක්‍රමවේදය හරහා රෝගීන්ට සිදුවන අපහසුතාවයන් අවම වන අතර, ඖෂධ භාවිතය පිළිබඳව නිසි වෛද්‍ය උපදෙස් රෝගියාට සෘජුවම ලබා ගැනීමට ද අවස්ථාව සැලසේ. රෝහල් කාර්ය මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරන මෙම මානුෂීය සහ කාර්යක්ෂම සේවාව පිළිබඳව මේ වන විට රෝගීන් සහ ඔවුන්ගේ ඥාතීන් අතර විශාල ප්‍රසාදයක් පළ වී තිබේ. රෝහල් පද්ධතියේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම වෙනුවෙන් හඳුන්වා දුන් මෙම පියවර සෙසු රෝහල් සඳහා ද ආදර්ශයක් බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.















