මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “කළුතර නවීන්” නමැත්තාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය ජාලයක ප්‍රධාන සාමාජිකයන් තිදෙනෙකු රුපියල් කෝටි ගණනක් වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සමත්ව තිබේ. ශ්‍රී ලංකා යුද හමුදා බුද්ධි අංශයට ලැබුණු තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකායේ විශේෂ මෙහෙයුම් ඒකකය I හි නිලධාරීන් කණ්ඩායමක් විසින් 2026 මාර්තු 27 වන දින කළුතර දකුණ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදුකර ඇත.
කළුතර දකුණ, දුම්රියපොළ පාරේ පිහිටි නිවසක් ඉදිරිපිටදී සිදුකළ මෙම වැටලීමේදී, සැකකරුවන් විසින් ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් පහක (01 kg 05 g) ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි විය. අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 28 ත් 33 ත් අතර පසුවන කළුතර ප්‍රදේශයේම පදිංචිකරුවන් බවත්, ඔවුන් දීර්ඝ කාලයක සිට මෙම ජාවාරමේ නිරතව ඇති බවත් මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කළුතර දකුණ පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, “කළුතර නවීන්” නමැති ජාවාරම්කරු විදේශගතව සිට මෙම ජාලය මෙහෙයවන්නේද යන්න පිළිබඳව පොලිසිය දැඩි අවධානයක් යොමු කර ඇත. මත්ද්‍රව්‍ය උවදුර මර්දනය කිරීම සඳහා ආරක්ෂක අංශ ඒකාබද්ධව දියත් කරන මෙහෙයුම්වල තවත් එක් තීරණාත්මක ජයග්‍රහණයක් ලෙස මෙම වැටලීම හැඳින්විය හැකිය.













