රුපියල් ලක්ෂ දෙකහමාරක මුදලකට වාලම්පූරියක් විකිණීමට උත්සාහ කළ සැකකරුවන් දෙදෙනෙකු කළුතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ඔත්තුකරුවෙකුගෙන් ලද තොරතුරකට අනුව උපාය දූතයෙකු යොදවා කළ වැටලීමකදී මොවුන් කොටු කරගෙන ඇත්තේ කළුතර, කටුකුරුන්ද ප්‍රදේශයේදීය. අත්අඩංගුවට පත් වූවන් අතර බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 72 හැවිරිදි පුද්ගලයෙකු සහ මොරටුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකු සිටින බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරීන් උපාය දූතයෙකු මාර්ගයෙන් වාලම්පූරිය මිලදී ගැනීමට සූදානම් බව හඟවා සැකකරුවන් අදාළ ස්ථානයට ගෙන්වාගෙන ඇති අතර, වාලම්පූරිය විකිණීමට උත්සාහ කිරීමේදී ඔවුන්ව අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් සහ වාලම්පූරිය වැඩිදුර විමර්ශන සඳහා දකුණු කළුතර පොලිසිය වෙත භාර දී තිබේ. කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිනී පද්මිනී වීරසූරිය මහත්මිය ඇතුළු ඉහළ පොලිස් නිලධාරීන්ගේ උපදෙස් මත කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක පී.සී.කේ. මාතර ආරච්චි මහතා ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීම සිදු කළහ.














