කළුතර දකුණ පොලිස් වසමට අයත් කළුතර අධිකරණ සංකීර්ණය තුළදී බන්ධනාගාර නිලධාරීන්ගේ භාරයේ සිටි සැකකරුවෙකු අත්විලංගු ද සහිතව පලාගොස් තිබේ. ඊයේ (04) දින නඩු කටයුතු අවසන් කර බන්ධනාගාර බස් රථයට නැගීමට පෙර වැසිකිළියට යාමට අවශ්‍ය බව පවසා ඇති සැකකරු, එහිදී තමන් භාරව සිටි නියාමකවරයාගෙන් මිදී මෙලෙස පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.
මෙසේ පලාගොස් ඇත්තේ දොඩංගොඩ, ඇළ දූව පදිංචි සංගිලි පෙරුමාල් මුරුගන් ධනුෂ්ක කුමාර් නොහොත් ‘අංකුට්ටා’ නමැති 22 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු පසුගිය පෙබරවාරි 27 වැනිදා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3කට අධික ප්‍රමාණයක් සන්තකයේ තබාගෙන සිටියදී කළුතර කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි අයෙකි.
ඔහුට එරෙහිව පවතින වෙනත් නඩු කටයුත්තක් සඳහා කළුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම සිදුවීම සිදුවී ඇත. පලාගිය සැකකරු සොයා බන්ධනාගාර නිලධාරීන් මෙන්ම කළුතර දකුණ සහ දොඩංගොඩ පොලිස් ස්ථානවල නිලධාරීන් කණ්ඩායම් කිහිපයක් එක්ව මේ වන විට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.














