ඉරානයේ හිටපු විදේශ අමාත්‍යවරයෙකු වූ කමල් කරාසි (Kamal Kharazi) මහතා පසුගිය අප්‍රේල් 1 වනදා තෙහෙරාන් අගනුවර පිහිටි ඔහුගේ නිවස ඉලක්ක කර ගනිමින් ඇමරිකාව සහ ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයකින් ලැබූ බරපතල තුවාල හේතුවෙන් ඊයේ (09) රාත්‍රියේ අභාවප්‍රාප්ත වූ බව ඉරාන මාධ්‍ය වාර්තා කරයි. මියයන විට 81 වැනි වියේ පසුවූ ඒ මහතා, ඉරාන විදේශ අමාත්‍යාංශයට අනුබද්ධ ජාත්‍යන්තර සබඳතා පිළිබඳ උපායමාර්ගික කවුන්සිලයේ ප්‍රධානියා ලෙස කටයුතු කරමින් සිටියේය.
අදාළ ප්‍රහාරයෙන් කරාසි මහතාගේ බිරිඳ ද ජීවිතක්ෂයට පත් වූ බව ඉරානයේ මෙහර් (Mehr) සහ ඉස්නා (Isna) පුවත් ඒජන්සි වාර්තා කර තිබේ. ප්‍රවීණ රාජ්‍ය තාන්ත්‍රිකයෙකු වූ කමල් කරාසි මහතා 1997 සිට 2005 දක්වා කාලය තුළ හිටපු ජනාධිපති මොහොමඩ් ඛාටමි යටතේ විදේශ අමාත්‍යවරයා ලෙස සේවය කළ අතර, ඊට පෙර නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන නියෝජිතයා ලෙස ද කටයුතු කළේය.
මෙම මරණයත් සමඟ මැදපෙරදිග කලාපයේ පවතින උණුසුම්කාරී තත්ත්වය තවදුරටත් උග්‍ර විය හැකි බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති. විශේෂයෙන්ම ඉහළ පෙළේ ඉරාන නිලධාරියෙකු ඉලක්ක කර එල්ල වූ මෙම ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය විසින් හොර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීම සහ ඊශ්‍රායලයට එරෙහිව දැඩි පියවර ගන්නා බවට කළ ප්‍රකාශයන් ලෝක අවධානයට යොමු වී ඇත.















