ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් හිටපු උප ජනාධිපතිනි කමලා හැරිස් (Kamala Harris) ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත සිය දැඩි විරෝධය පළ කර තිබේ. පෙබරවාරි 28 වැනිදා එල්ල වූ මෙම ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි ජීවිතක්ෂයට පත්වීමත් සමඟ මැදපෙරදිග කලාපය පුරා යුදමය තත්ත්වයක් නිර්මාණය වී ඇති පසුබිමක ඇය මෙම ප්‍රකාශය සිදු කර ඇත. ඉරානය සමඟ පැවැති න්‍යෂ්ටික සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ට්‍රම්ප් පරිපාලනය ගත් මෙම තීරණය “භයානක සූදුවක්” ලෙස ඇය හඳුන්වයි.
සිය එක්ස් (X) ගිණුමේ සටහනක් තබමින් හැරිස් අවධාරණය කළේ, ඉරානයේ පාලන තන්ත්‍රය බලහත්කාරයෙන් වෙනස් කිරීම සඳහා දියත් කෙරෙන මෙවැනි යුද්ධයකට තමන් සම්පූර්ණයෙන්ම විරුද්ධ බවයි. ට්‍රම්ප් විසින් තෝරා ගන්නා ලද මෙම යුද්ධය හේතුවෙන් අමෙරිකානු සෙබළුන්ගේ ජීවිත අනවශ්‍ය අනතුරකට ලක් කර ඇති බවත්, මෙය ලෝකය හමුවේ අමෙරිකාවේ ස්ථාවරත්වය පළුදු කරන්නක් බවත් ඇය පෙන්වා දෙයි. “අපි මේ දකින්නේ ශක්තිය නොව, අධිෂ්ඨානය ලෙස වෙස්වලාගත් නොසලකා හැරීමයි,” යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබේ.
ඉරානය න්‍යෂ්ටික අවියක් අත්පත් කර ගැනීම වැළැක්විය යුතු බව තමන් ද පිළිගන්නා නමුත්, එම තර්ජනය තුරන් කිරීමට යුද්ධය විසඳුම නොවන බව ඇය පවසයි. ජනාධිපතිවරයා යුද්ධයකට අවතීර්ණ වීමට පෙර කොංග්‍රස් මණ්ඩලයේ අවසරය ලබා ගත යුතු බව පෙන්වා දෙන ඇය, ට්‍රම්ප්ගේ මෙම “පෞද්ගලික යුද්ධය” නතර කිරීමට කොංග්‍රස් මණ්ඩලය සියලු බලතල භාවිත කළ යුතු බවට ද ඉල්ලා සිටියි. කෙසේ වෙතත්, අමෙරිකානු ජනතාව සහ මිත්‍ර පාර්ශ්වයන් වෙත එල්ල වන ආසන්න තර්ජන ඉවත් කිරීම සඳහා මෙම ප්‍රහාර අත්‍යවශ්‍ය වූ බව පවසමින් ජනාධිපති ට්‍රම්ප් සිය ක්‍රියාව සාධාරණීකරණය කර ඇත.















