සිංහල සහ හින්දු අලුත් අවුරුදු චාරිත්‍ර වාරිත්‍ර අතර සුවිශේෂී මංගල්‍යයක් වන හිසතෙල් ගැල්වීමේ රාජ්‍ය උත්සවය මෙවර මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාල පරිශ්‍රයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම උත්සවය පැවැත්වීමට නියමිතය.
මෙවර හිසතෙල් ගැල්වීමේ සුබ මුහුර්තය අප්‍රේල් මස 15 වැනි බදාදා දින පූර්ව භාග 6.55 ට යෙදී තිබේ. අලුත් අවුරුදු චාරිත්‍ර විධිමත්ව ඉටු කරමින් සමස්ත ලාංකික ජනතාවගේ සෞඛ්‍ය සම්පන්න බව, නීරෝගීභාවය සහ ආයුෂ වර්ධනය ප්‍රාර්ථනා කරමින් මෙම රාජ්‍ය උත්සවය උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.
මහනුවර නාථ දේවාල පරිශ්‍රය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන මෙම උත්සවයට සමගාමීව දිවයින පුරා පිහිටි වෙහෙර විහාරස්ථානවල ද හිසතෙල් ගැල්වීමේ පුණ්‍ය මහෝත්සවයන් සංවිධානය කර තිබේ.














